චීනයට එරෙහිව සන්ධානගත විය යුතුයි

චීනයට එරෙහිව සන්ධානගත විය යුතුයි - ජෝ බයිඩ්න් බටහිර රටවලින් ඉල්ලයි

by Staff writer 12-06-2021 | 9:10 PM

News 1st - චීනයට එරෙහිව සන්ධානගත විය යුතු බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් බටහිර රටවලින් ඉල්ලා සිටියේ ය.

ඒ, ජී - 7 සමුළුවේ දෙවන දිනයට සමගාමීවයි. චීනයෙන් එල්ල වන බලපෑම් දිනෙන් දින උග්‍රවීම හමුවේ බටහිර රටවල් මෙලෙස සන්ධානගත විය යුතු බව අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය. සංවර්ධනය වෙමින් පවතින රටවල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ මුවාවෙන් චීනය සිදු කරන බලපෑම් අමෙරිකානු ජනාධිපතිවරයාගේ දැඩි විවේචනයට ලක්විය. අමෙරිකාව දිගින් දිගට ම චෝදනා කළේ, චීනය ෂින්ජියෑන් පළාතේ කම්කරු ශ්‍රමය සූරාකමින් මානව හිමිකම් උල්ලංඝණය කරන බවටයි. එම චෝදනා පදනම් කර ගනිමින් ඇතැම් අවස්ථාවල චීනයට සංචරණ සීමා ඇතුළු සම්බාධක පැනවීමටත් අමෙරිකාව, යුරෝපා සංගමය, කැනඩාව සහ එක්සත් රාජධානිය පියවර ගත්තේ ය. මිලියනයකට අධික උයිගර්වරු සහ අනෙකුත් සුළු ජාතීන් චීනයේ වයඹ දිග ප්‍රදේශයේ කඳවුරුවල රඳවා සිටින බවත්, චීන බලධාරීන් ඔවුන්ගේ මානව හිමිකම් දැඩිව උල්ලංඝණය කරන බවටත් අමෙරිකාව චෝදනා කරයි.