ගිනිගත් නැව නිසා සංචාරක කර්මාන්තයටත් බලපෑම්

එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්න නිසා සංචාරක කර්මාන්තයටත් බලපෑම්

by Hashini De Mel 12-06-2021 | 11:42 AM

COLOMBO (News 1st) - ගිනිගෙන මුහුදුබත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අපද්‍රව්‍ය හේතුවෙන් සංචාරක කර්මාන්තයට බලපෑම් ඇති වන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කළේ, සංචාරක කලාප 15 න් 8 ක්ම පිහිටා තිබෙන්නේ නෞකාව ගිනි ගැනීම හේතුවෙන් බලපෑමට ලක්වන කලාපය තුළ බවය. මුහුදු වෙරළ පරිසරය, ජෛව විවිධත්වය ආශ්‍රිතව අපගේ සංචාරක කටයුතු බොහෝ සෙයින් සිදුවන බැවින් සංචාරක කර්මාන්තයට බලපෑම් එල්ලවන බව ඇය පැවසුවාය. ඒ වගේම විදේශිකයින් අතර බොහෝ ජනප්‍රිය මුහුද ආශ්‍රිත ආහාරවන ඉස්සෝ, දැල්ලෝ, කකුළුවන් පිළිබ ද යම් ගැටලු ඇතිවිය හැකි බව ඇය සඳහන් කළාය. නමුත් එම මත්ස්‍ය සහ මුහුද ආශ්‍රිත එම ආහාරවලට කොතරම් බලපෑමක් සිදුව ඇද්ද යන්න පිළිබඳව මේ වනවිට නිශ්චිතව සඳහන් කළ නොහැකි බව ද සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.