ආණ්ඩුවේ ජනතාවාදී තීන්දු සොයා ගන්න අපහසුයි

ඉන්ධන මිල ඉහළ දැමීමෙන් ආර්ථිකය ව්‍යාකූල වීම වැළැක්විය නොහැකියි - විපක්ෂ නායක

by Staff writer 12-06-2021 | 8:17 PM

COLOMBO (News 1st) - ආණ්ඩුව ජනතා විරෝධී තීන්දු රැසක් ගනිමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තෙල් මිල ඉහළ යාම ජන ජීවිතය හා සෘජුව බැඳුණු ක්ෂේත්‍ර ගණනාවකට බලපාන බැවින් ආර්ථිකය ව්‍යාකූල වීම වැළැක්විය නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන්ම සියලු පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් ඉහළ යාමක් සිදු වන බව දැන දැනත් ඉන්ධන මිල ඉහළ දැමීම තුළින් ආණ්ඩුවේ ජනතා හීන පිළිවෙත පැහැදිලි වන බව විපක්ෂ නායකවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. 2019 දෙසැම්බැර් මස 01 වැනි දා ධන කුවේරයින්ට අනුකම්පා කර බදු සහන ලබා දුන් ආණ්ඩුව එයින් රාජ්‍ය බදු ආදායම 30% ක් රටට අහිමි කළ බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි. එම අසාර්ථක බදු ප්‍රතිපත්තියෙන් සිදු වූ බරපතල අත්වැරැද්ද තෙල් මිලෙන් සඟවා ඒ බරද ජනතාවට පැටවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායකවරයාගේ අදහසයි. දැවැන්ත සීනි වංචාවකට, පොල්තෙල් වංචාවකට දොරටු විවර කරමින් ගජ මිතුරන්ට සහන සැලසූ ආණ්ඩුව අවසානයේදී මෙරට මහ සයුර පවා වනසා දැමෙන අනතුරක් රටට කැඳවා ගත් බව ද මෙහි දැක්වේ. විපක්ෂ නායකවරයා අවධාරණය කරන්නේ, ආණ්ඩුව විසින් ගනු ලැබූ ජනතා විරෝධී තීන්දු අප්‍රමාණව තිබුණ ද ජනතාවාදී තීන්දු සොයා ගැනීම අපහසු බවයි.