COLOMBO (News 1st) - ඇස්ට්‍රාසෙනෙකා හෙවත් කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා දොලොස් ලක්ෂ හැට හතර දහසක් ශ්‍රී ලංකාව තුළට රැගෙන ආ අතර ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා 10ක් එක කුප්පියක අන්තර්ගතයි.
ඒ අනුව එන්නත් කුප්පි 126,400 ක් මෙරටට ගෙනවිත් තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ, මෙම සෑම ඇස්ට්‍රාසෙනෙකා හෙවත් කොවිෂීල්ඩ් එන්නත් කුප්පියකම අමතර මාත්‍රාවක් හෝ දෙකක් තිබූ බවයි.
එම සංගමයට අනුව වසංගත රෝග විද්‍යා ඒකකය ලබාදුන් පළමු මාර්ගෝපදේශයේ දැක්වුණේ, මාත්‍රා 10 ක් ලබා දී කුප්පියේ ඉතිරිවෙන ද්‍රාවණය ඉවත දමන ලෙසට වන අතර නැවත එසේ නොකරන ලෙස නිර්දේශ ලබාදෙනවිට කුප්පි 18000 ක් භාවිත කර අවසන් ය.
ඒ අනුව ඔවුන්ගේ සංඛ්‍යාලේඛනවල දැක්වෙන්නේ, ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා 25000 ක් පමණ සෞඛ්‍ය අමාත්‍යාංශ ඉවත දමා ඇති බවටයි.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,
අපෙන් යම් ආකාරයකට අපතේ ගියා නම් ඒක අපි ලබාදෙන තත්ත්වයට සාපේක්ෂව ඉතා සුළු ප්‍රමාණයක් එකෙන් අපට මේ දැනට තියන අර්බුදකාරී තත්ත්වය මග හැරීමට තරම් ඉතුරුවක් ලැබේවි කියලා නම් මම හිතන්නේ නෑ.
එන්නත් කුප්පියක අමතර ප්‍රමාණයක් ඇත්තේ, එන්නත්කරණයේදී සිලින්ජරයට මාත්‍රාව ගෙන ප්‍රමාණය සැකසීමේදී ඉවතලන ප්‍රමාණය සැලකිල්ලට ගෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඇස්ට්‍රාසෙනෙකා හෙවත් කොවිෂීල්ඩ් එන්නත්කරණයට භාවිත කර ඇත්තේ, නියමිත ප්‍රමාණය ඇදගත් පසු ස්වංක්‍රීයව අක්‍රීයවන සිලින්ජරය.
එසේනම් එන්නත්කරණයේදී ද්‍රාවණය අපතේ යාමක් සිදුවන්නේ නැත.
ඒ අනුව එන්නත් කුප්පියක අමතර එක මාත්‍රාවක් පමණක් තිබෙන බවට සලකා ගණනය කළත් මාත්‍රා 126, 400 ක් ඉතිරිවිය යුතුයි.
වසංගත රෝග විද්‍යා ඒකකය පළමුව ලබාදුන් වැරදි මාර්ගෝපදේශයට අනුව මාත්‍රා 25,000ක් අපතේ ගියත් තවත් ලක්ෂකට අධික මාත්‍රා ප්‍රමාණයක් ඉතුරු විය යුතු අතර ඒවා කුමන හෝ යාන්ත්‍රණයක් මගින් ගණනය වුණා ද යන්න ගැටලුවකි.
දෙවන මාත්‍රාව ලබා දීමට ශ්‍රී ලංකාවට කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ලබා ගැනීමේ අර්බුදයක සිටින අතර අමතර එන්නත් මාත්‍රා ලක්ෂය නිවැරදිව කළමනාකරණය වුණා නම් ඊටත් සහනයක් ලැබෙනු ඇති.
කෙසේවෙතත් ඊයේ වනවිටත් අමතර මාත්‍රාවලින් සෞඛ්‍ය අමාත්‍යාංශ භාවිතා කර තිබුණේ 16,000කට ආසන්න ප්‍රමාණයක් පමණි.
ගාල්ලේදී පිට පළාත්වලින් පැමිණි බව කියන පිරිසකට කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමේ සිද්ධිය අනාවරණයවීමෙන් පසු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එන්නත්කරණ ක්‍රියාවලියේ සිටින පළාත් සෞඛ්‍ය බලධාරීන්ට සියලු රෝහල් අධ්‍යක්ෂවරුන් ඇතුළු පාර්ශවයන්ට ලිඛිතව දැනුම් දුන්නේ, ඔවුන් සතුව ඉතිරිවී තිබෙන සියලුම කොවිෂීල්ඩ් එන්නත් කුප්පි වහාම වසංගත රෝගවිද්‍යා අංශයේ මධ්‍යම එන්නත් ගබඩාවට එවන ලෙසිය.
එහෙත් එම ඉතිරිව ඇති සංඛ්‍යාව කොපමණ ද යන්න සඳහන්ව නොමැත.