සෞඛ්‍ය සේවක විරෝධය නිසා රෝගීන් අමාරුවේ

සෞඛ්‍ය සේවක විරෝධය නිසා එන්නත්කරණයත් අඩාල වෙයි

by Staff writer 11-06-2021 | 1:32 PM

COLOMBO (News 1st) - සෞඛ්‍ය වෘත්තිය සමිති 26 ක සාමාජිකයින් රාජකාරිවලින් ඉවත්ව ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් අද පෙරවරුවේ රෝහල් ඇතුළු සෞඛ්‍ය මධ්‍යස්ථාන රැසක සේවාවලට දැඩි බලපෑම් එල්ල විය.

ඔවුන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළේ, දීමනා ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනි. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසුවේ, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සාර්ථක බවය. සෞඛ්‍ය සේවකයින්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝහල්වලට පැමිණි ජනතාව දැඩි පිඩාවට පත්විය. ප්‍රාදේශීය රෝහල් ගණනාවක ද මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් පැමිණි රෝගීන් දැඩි පීඩාවට පත්විය. මේ අතර කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ලබා ගැනීමට බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණි ජනතාව ද සෞඛ්‍ය සේවකයින්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටී. ඔවුන් පැවසුවේ, අද දිනයේ එන්නත් ලබා නොදෙන බව තමන් එහි ගිය පසු දැනුම් දුන් බවය. රත්මලාන, කොතලාවලපුර එන්නත් දීමේ වැඩසටහන් ද සෞඛ්‍ය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් අඩපන වූ බව ජනතාව පැවසීය.