COLOMBO (NEWS1ST) : පසුගිය 8 වනදා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ට කම්මුල් පහරක් එල්ල කළ පුද්ගලයාට එරට අධිකරණයක් විසින් සිව් මසක සිර දඬුවමක් නියම කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, 28 හැවිරිදි ඩේමියන් ටැරල් නමැති අදාළ සැකකරුට වැලෙන්ස්හි අධිකරණය මාස 18ක සිර දඬුවමක් නියම කර එය මාස 14කට අත්හිටුවා ඇති බවයි.
ගිනිකොණදිග ප්‍රංශයේ වෘත්තීය පුහුණු පාසලක නිල සංචරයක නිරතව සිටියදී පසුගිය 8 වනදා ජනාධිපතිවරයා මෙම පහරදීමට ලක්විය.
සමාජ මාධ්‍යයේ සංසරණය වූ දර්ශනවලට අනුව එක්තරා ස්ථානයක රැස්ව සිටින පිරිසකට ආචාර කිරීම සඳහා ජනාධිපතිවරයා අත දිගු කරනවාත් සමග කොළ පැහැති ටී ෂර්ටයකින් සැරසී සිටින පුද්ගලයෙකු එකවරම ජනාධිපතිවරයාගේ කම්මුලට පහරදෙන ආකාරය දැක ගත හැකි විය.
එහිදී එකවරම ක්‍රියාත්මක වූ ජනාධිපතිවරයාගේ ආරක්ෂකයින් අතරින් දෙදෙනකු අදාළ පුද්ගලයා වෙතට පැන ඔහු අල්ලා ගන්නා අතර තවත් අයෙක් සැණින් ජනාධිපතිවරයා එම ස්ථානයෙන් ඉවතට ගැනීමට ක්‍රියා කළේ ය.
පසුව ජනාධිපතිවරයාට පහරදුන් පුද්ගලයා සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනිණ.
සිදුවීමෙන් පසු ජනාධිපතිවරයා පවසා තිබුණේ, එය හුදකලා සිදුවීමක් බවයි.
සිය ආරක්ෂාව සම්බන්ධයෙන් බිය නොවන බව ත් කිසිවකට සිය ගමන වැළැක්විය නොහැකි බව ත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබිණ.
ඩේමියන් ටැරල් අධිකරණය හමුවට
සැකකරු අත්අඩංගුවට ගත් දිනයේ හැඳ සිටි කොළ පැහැති ටී -ෂර්ටයකින්ම සැරසී අධිකරණය හමුවේ , පෙනී සිට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය.
මෙහිදී ජනාධිපතිවරයාට පහර දුන්නේ ඇයි දැයි අධිකරණයේදී අදාළ සැකකරුගෙන් විමසා ඇත.
ඔහු අධිකරණයට පවසා ඇත්තේ, මිතුරන් සමග මෝටර් රථයේ රැඳී සිටියදී සැලකිය යුතු යමක් කළ යුතු බවට සලකා බැලූ බවත් මුලින් ම බිත්තරයක් හෝ ක්‍රීම් සහිත කේක් එකක් විසි කිරීම ගැන සලකා බැලූ බවත් ය.
එහෙත් ජනාධිපතිවරයාට කම්මුලට ගැසීම සිතා මතා කළ දෙයක් නොවන බව ඔහු අධිකරණය හමුවේ පවසා ඇත.
ඡන්දදායකයෙකු ලෙස තමන් සොයන ඔහුගේ මිත්‍රශීලී, බොරු පෙනුම දුටු විට, තමා පිළිකුලෙන් පිරී ගිය බව ඔහු අධිකරණයට පවසා ඇතැයි ද වර්තා වේ.
43 හැවිරිදි මැක්‍රොන් ලබන වසරේදී දෙවන වරටත් ජනාධිපතිවරයට ඉදිරිපත්වීමට අපේක්ෂාවෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය.