විශ්‍රාම වැටුප් ගෙවන්න විශේෂ වැඩපිළිවෙළක්

විශ්‍රාම වැටුප් ලබා ගැනීමට නිවසින් බැහැරට යාමට බලපත්‍රයක් අවශ්‍ය නැහැ - පොලීසිය: යුද හමුදාවෙනුත් නොමිලේ ප්‍රවාහන පහසුකම්..

by Staff writer 10-06-2021 | 8:49 AM

COLOMBO (News 1st) - ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා අද(10) සහ හෙට(11) පහසුකම් සපයා ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ, සියලු විශ්‍රාමිකයින්ගේ ගිණුම්වලට මේ වනවිට මුදල් බැර කර ඇති බවයි. ඒ අනුව විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා ඔවුන්ට බැංකු, තැපැල් කාර්යාල, සමූපකාර හා සණස බැංකු වෙත යාමට යුද හමුදාව විසින් නොමිලේ බස් රථ යොදවා ඇතැයි ද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය. විශ්‍රාම වැටුප් කාඩ්පත හෝ ජාතික හැඳුනුම්පත ඒ සඳහා ඉදිරිපත් කළ හැකිය. මෙරට සිටින රජයේ විශ්‍රාම වැටුප්ලාභීන් සංඛ්‍යාව 667,710 කි. ඒ වෙනුවෙන් රජය මාසිකව රුපියල් බිලියන 20 ක පමණ මුදලක් වැය කරනු ලබයි. මේ අතර විශ්‍රාම වැටුප් ලබා ගන්නා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් අද සහ හෙට සියලු රාජ්‍ය සහ පෞද්ගලික බැංකු විවෘතව පවතින බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා සඳහන් කළේ ය. මේ අතර විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා නිවසින් බැහැරට යාමට බලපත්‍රයක් අවශ්‍ය නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. විශ්‍රාම වැටුපක් ලබා ගැනීමට යන ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු මාර්ග බාධකයකදී⁣ පොලිස් නිලධාරීන් පරීක්ෂා කරන අවස්ථාවේදී විශ්‍රාම වැටුපට අදාළ ලියවිල්ලක් හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික ලියවිල්ලක් පෙන්වීම ප්‍රමාණවත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය. ඒ වගේම තනිවම යා නොහැකි ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකුට තවත් කෙනෙකු හෝ ඔවුන් යන වාහනයක තැපැල් කාර්යාලයට හෝ අදාළ මූල්‍ය ආයතනයට ගමන් කළ හැකි බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය. මේ සම්බන්ධයෙන් දිවයිනේ පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.