වව්නියාවේදී PHI කෙනෙකුට පහරදීමක්

වව්නියාවේදී සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහරදීමක්..

by Hashini De Mel 10-06-2021 | 9:09 AM

COLOMBO (News 1st) - වව්නියාව, සාන්තසෝලේ ප්‍රදේශයේදී ඊයේ (09) මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට (PHI) පහරදීමක් සිදු කර තිබේ.

මුහුණු ආවරණයක් නොමැතිව යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකුගෙන් ඒ පිළිබඳව විමසීමට යාමේදී එම සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහර දීම සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. පහරදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් ඊයේ සවස වව්නියාව පොලීසියට පැමිණිල්ලක් කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, එම පහරදුන් පුද්ගලයා පොලීසිය විසින් හඳුනාගෙන ඇති අතර ඔහු සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බවය. මීට අමතරව පසුගිය වසරේ දෙසැම්බර් මස අටුලුගම දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ මුහුණට කෙළ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් ද වාර්තා විය. එම සිද්ධියේ සැකකරුට මේ වනවිට නඩු පවරා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් පොලීසිය විසින් දැඩිව ක්‍රියාමාර්ග ගන්න බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.