ගෙවුණු දිනයේ නිරෝධායන නීති කැඩූ 1057ක් කොටු

ගෙවුණු දිනයේ පරීක්ෂාවට ලක් කළ පුද්ගලයින් 4,412 න් බහුතරයක් අත්‍යවශ්‍ය සේවාවල සාමාජිකයින් - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

by Hashini De Mel 10-06-2021 | 8:23 AM

COLOMBO (News 1st) - නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 1,057ක් පසුගිය පැය 24 තුළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පසුගිය ඔක්තොම්බර් 30 වැනි දා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 27,977 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, සංචරණ නීති උල්ලංඝණය කරමින් බස්නාහිර පළාතට ඇතුළුවීමට හෝ පිටවීමට උත්සාහ කළ පුද්ගලයින් 66 දෙනෙක් ඊයේ (09) ආපසු හරවා යවා ඇති බවයි. එමෙන්ම එම ස්ථානවලදී පුද්ගලයින් 4,412 ක් පරීක්ෂාවට ලක් කර තිබෙන අතර ඔවුන් බහුතරයක් අත්‍යවශ්‍ය සේවාවල සාමාජිකයින් බවට වාර්තා වී ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ, අද දිනයේත් නිරෝධායන රීතින් ඒ ආකාරයෙන්ම බල පැවැත්වෙන බවය.