එක්ස්ප්‍රස් පර්ල් නැවේ තෙල් කාන්දු වෙනවා ද?

එක්ස්ප්‍රස් පර්ල් නැවේ තෙල් කාන්දු වෙනවා ද?

by Staff writer 10-06-2021 | 7:53 PM

COLOMBO (NEWS1ST) : එක්ස්ප්‍රර්ස් පර්ල් නෞකාවේ විශාල ඉන්ධන කාන්දුවක් චන්ද්‍රිකා ඡායාරූප මගින් දැකගත හැකි බව බ්‍රිතාන්‍යයේ Sky Newsසේවය අද (10) අනාවරණය කළේ ය.

නමුත් මෙරට බලධාරීන් අවධාරණය කර සිටින්නේ, නැවේ තෙල් කාන්දුවක් නොමැති බවයි. එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්න පටන් ගත් දින සිට ශ්‍රී ලංකාවේ මුහුදට මෙම අනතුරින් ඇතිවිය හැකි තෙල් කාන්දුවක් හෝ අපද්‍රව්‍ය එක්වීමක් හරහා සිදුවිය හැකි හානිය පිළිබඳව නිව්ස් ෆස්ට් දිගින් දිගටම ප්‍රශ්න කළේ ය. සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරය ඇතුළු බලධාරීන්ගෙන් ඊට නිසි පිළිතුරක් නොලැබිණ.

එක්ස්ප්‍රස් පර්ල් නැවේ තෙල් කාන්දු වෙනවා ද?

නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසුවේ, මේ වනවිට දින 20ක ආසන්න නමුත් තෙල් කාන්දුවක් ගැන පෙනෙන්නට නොමැති බවයි. ඇතැමුන් තෙල් කාන්දුවක් ඇති බවට මත පළ කළද එවැන්නක් තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. තව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ගිනිගත් X – Press Pearl නෞකාව වටා නැව් 5ක් නතර කර ඇති බවත් , එවැනි තෙල් කාන්දුවක් සිදු නොවන බව එම නැව් 5 න් ම තහවුරු කළ බව ත් ය. මේ අතර වරාය අධිකාරියේ හාබර් මාස්ටර් සමග තමා ඊයේ (9) බෝට්ටුවක් ආධාරයෙන් ගිනිගත් නෞකාව ආසන්නයට ගිය බවත් එහිදී මතුපිට තැවරී ඇති ඩීසල් වැනි පොඩි තත්ත්වයක් මිස එවැනි ඉන්ධන කාන්දුවක් සිදු වන බවක් නිරීක්ෂණය නොවූ බනත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය. මේ අතර ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය හෙවත් නාරා ආයතනයේ ප්‍රධාන විද්‍යාඥවරයෙකු විසින් තෙල් ස්ථරයක් පිළිබඳව සිදු කළ ප්‍රකාශය නිවැරදි නොවන බව එම ආයතනය අද පස්වරුවේ නිවේදනය කළේ ය. නමුත් නාරා ආයතනයේ ප්‍රධාන විද්‍යාඥ කේ. අරුනානන්දන් නිව්ස් ෆස්ට් වෙත අදහස් දක්වමින් එම තෙල් ස්ථරය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේ ය.
''ගිලෙන නෞකාවේ ඊසාන දෙසින් තෙල් කාන්දුවක් දක්නට ලැබෙනවා. ජුනි 04 වැනිදා වන විට වර්ග කිලෝ මීටර් 3.5 ක පමණ වපසරියකින් යුත් පැල්ලමක් දක්නට ලැබෙනවා. දැන් ඒක ක්‍රමයෙන් අඩු වෙලා. වර්ග කිලෝ මිටර් 0.35 ක මට්ටමේ තියෙන්නේ. මෙය මෙම නෞකාවට ඉන්ධන ලෙස යොදා ගත් බැරතෙල් ද නැතහොත් ගිනිගැනීමෙන් පසු මතුවූ පැල්ලමක්ද කියා අපි සොයා බලනවා. අපි දැනට සාම්පල ගෙනවිත් තිබෙනවා. දැන් පර්යේෂණ සිදුකරනවා''
බ්‍රිතාන්‍යයේ Sky News ප්‍රවෘත්ති සේවය ප්ලැනට් ලැබ්ස් නමැති චන්ද්‍රිකා ඡායාරූප සේවයෙන් පසුගිය සඳුදා ලබාගත් ඡායාරූපයක් ප්‍රසිද්ධ කරමින් අද වාර්තා කළේ, නැවෙන් විශාල තෙල් කාන්දුවක් සිදුවෙමින් ඇති බවයි. රිදී පැහැතිව චන්ද්‍රිකා ඡායාරූපයේ දිස්වන මෙම පැල්ලම මීටර් 100 කට වඩා දුරට විහිදී ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ. එය ශ්‍රී ලංකාවේ සිදුවූ දරුණුම සාගර පරිසර විනාශය ලෙස හැඳින්විය හැකි බව ද Sky News වාර්තාවේ සඳහන් ය. මේ අතර බටහිර ඔස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යාඥ‍ මහාචාර්ය චරිත පට්ටිආරච්චි මහතා පැවසුවේ, චන්ද්‍රිකාවලින් සාමාන්‍යයෙන් හඳුනා ගනු ලබන්නේ, පැහැය වෙනස් වූ ජලය සහ ඒ මත ඇති කුඩා වෙනස්කම් බවයි.
''තෙල් කාන්දුවක් වෙලා තියෙනවා කියලා වාර්තා වනවා. නමුත් තෙල්කාන්දුවක් වෙලා නෑ. චන්ද්‍රිකාවලින් සාමාන්‍යයෙන් හඳුනාගන්නේ පැහැය වෙනස් වූ ජලය සහ ඒ මත ඇති කුඩා වෙනස්කම්.ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ගත් ඡායාරූප දකිද්දි අපිට පේනවා මුහුදේ තරංගවලින් ඇදියන නෞකාව වටා ජලයේ පැහැය වෙනස් වෙලා. ජලයේ පැහැය වෙනස් වෙන්නේ බහාලුම් සේදී යන නිසා.චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙනෙන්නේ තෙල් නෙවෙයි. පැහැය වෙනස් වූ ජලය.''
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේ ය.
''තෙල් කාන්දුවක් සිද්ද වෙනවාද කියලා යම් තෙල් පැල්ලමක් ගැන මේ සටහන් වන නිසා ඒක සම්බන්දව කියන්න කැමතියි මං දැන් මේ වෙලාවෙම මීපා ආයතනයේ සභාපතිතුමියට කතා කළා.එතුමිය කිව්වා එතුමියටත් ඒ වගේ තොරතුරක් වාර්තාවෙලා තියෙන බවත් ඒ වගේම එවායේ සාම්පල් ගන්න කණ්ඩායමක් යොමු කරලා තියෙනවා ඒවා අරගෙන පරික්ෂා කරලා තමයි අවසන් වශයෙන් තීන්දුවක් දෙන්න වෙන්නේ කියලා'' එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් තෙල් කාන්දුවක් සිදුවන්නේ දැයි සංවාදයක් පවතින පසුබිමක එම නෞකාව ගිනිගෙන මුහුදුබත් වීමට හේතු වූ කාරණා සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබේ.

ඇත්තටම වුණේ කුමක් ද?

චීනයේ නිෂ්පාදිත එක්ස්ප්‍රස් පර්ල් බහලුම් ප්‍රවාහන නෞකාව 2021 පෙබරවාරි මාසයේ සේවයට එක්කරන්නේ සිංගප්පූරුවේ එක්ස්ප්‍රස් ෆීඩර් සමාගම විසිනි. සිංගප්පූරු ධජයෙන් නැව සිංගප්පූරුව, කොළඹ, ඉන්දියාව, කටාර් සහ ඩුඩායි වරාය අතර බහලුම් ප්‍රවාහනයට යොදාගෙන තිබිණ. නැවේ නයිට්‍රික් ඇසිඩ් බහාලුමක කාන්දුවක් ඇතැයි, කාර්ය මණ්ඩලය මුල්වරට හඳුනාගත්තේ මැයි 11 වන දිනයි. ඒ වනවිට නැව ඩුබායිහි ජබෙල් අලි සිට කටාර්හි හමාද් වරාය දක්වා යාත්‍රා කරන අතරතුරයි. කාන්දුව සිදුවන බහලුම ගොඩබා නැවත සකස් කිරීමට නෞකාවේ කාර්යය මණ්ඩලය හමාද් වරායෙන් ඉල්ලා තිබුණ ද රාමසාන් උත්සවය හේතුවෙන් වරාය කාර්ය මණ්ඩල සීමිත බැවින් ඉල්ලීම ඉටුකළ නොහැකි බව එම වරායේ බලධාරීන් නැවට දන්වා තිබිණ. ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පිහිටි හසීරා වරායේදී ප්‍රශ්නගත බහාලුම ගොඩබාන ලෙස හමාඩ් වරායේ නියෝජිතයින් නැවට දැනුම් දී ඇති බව වාර්තා වේ. එය හසීරා වරායට ළඟා වූයේ මැයි මස 15 වන දිනයි. එහිදී ඇසිඩ් කාන්දුවන බහාලුම ඉවත් කිරීමට අවසර ඉල්ලා තිබේ. වාර්තාවන පරිදි හසීරා වරායේ නියෝජිතවරයා ඇසිඩ් කාන්දුවට අදාළ තොරතුරු ලබාගෙන ඇත්තේ ඡායාරූප ඇතුළු සවිස්තර වාර්තාවක් ද සමගයි. එම තොරතුරු විමසා බැලීමෙන් පසුව එම බහලුම හසීරා වරායට ගොඩ බැස්වීමෙන් වරායට හානි සිදු විය හැකි බවට වරාය නියෝජිතයා නෞකාවට හා සමාගමට දැනුම්දී ඇතැයි මේ වනවිට වාර්තා වේ. මේ අනුව මැයි 15 දිනම නෞකාව හසීරා වරායෙන් පිටත්වී ඇති අතර අදාළ බහාලුමෙන් කාන්දුවන රසායන ද්‍රව්‍ය ප්‍රමාණය පිළිබඳව වරින්වර කපිතාන්වරයා නෞකා සමාගම දැනුවත් කර තිබේ. මැයි 15 වනදා හසීරා වරයෙන් පිටවීමෙන් පසුව කපිතාන්වරයා කළ දැනුම්දීමේ සඳහන්ව ඇත්තේ පැයට ලීටර් දශම 5 ත් ලීටරයත් අතර ප්‍රමාණයක් ප්‍රශ්නගත නයිට්‍රික් ඇසිඩ් බහලුමෙන් කාන්දුවෙමින් ඇති බවයි. මේ අතරවාරයේ ඉන්දීය සාගර කලාපයේ ඇතිවු කුණාටුව හේතුවෙන් එය මගහරිමින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අප්‍රිකාව දෙසට යාත්‍රා කර පසුව කොළඹ වරාය දක්වා යාත්‍රා කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අතර වාරයේ කපිතාන් වරයා සමාගමට කල දැනුම්දීම් අනුව හෙලිවන්නේ පැයට ලීටර් දශම 5 ක් පමණ ඇසිඩ් කාන්දුවෙමින් තිබූ බවයි. ශ්‍රී ලංකාවට ආසන්න වූ විට එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මව් සමාගමේ නියෝජිතයෙකු මෙරට නියෝජිතයාට කාන්දුවක් ඇති බහලුම පිළිබඳව ඊ මේල් මගින් දැනුම්දී තිබේ. වාර්තාවන ආකාරයට මැයි 19 වනදා උදෑසන 10.37 ට පමණ නැවේ කපිතාන්වරයා ශ්‍රී ලංකා නියෝජිතයාටද පිටපත්කර මව් සමාගමට යැවූ ඊ මේල් පණිවිඩයකින් ප්‍රශ්නගත බහාලුම කොළඹ වරායේදී ඉවත් කළ යුතු බව දැනුම්දී තිබේ. ඉදිනම සවස 4 යි 45 ට පමණ නැවේ කපිතාන්වරයා ඇසිඩ් කාන්දුව සිදුවන බහලුම පිළිබඳව ප්‍රශ්නයට අදාළව හුවමාරුවූ ඊමේල් පණිවිඩ ඇතුළත් තොරතුරු ජාලයට දේශීය නියෝජිතයා ද ඇතුළත් කර ඇති බව ද වාර්තා වේ. 19 වනදා සවස 4 .57 ට පමණ නෞකාවට දේශීය නියෝජතයාගෙන් ලැබී තිබූ ප්‍රතිචාරය වූයේ හාබර් මාස්ටර් කාර්යාලය වසා ඇති අතර පසුදින උදෑසන ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුම්දෙන බවයි. එදින මධ්‍යම රාත්‍රිය ආසන්නයේ එක්ස්ප්‍රස් පර්ල් කොළඹ පිටත වරායේ නැංගුරම් දමා ඇති අතර ඉන් පැය කිහිපයකට පසුව එනම් 20 වනදා අලුයම 2 ට පමණ නැවෙන් දුමක් නැගෙන බව කපිතාන්වරයා රේඩියෝ පණිවිඩයකින් වරායට දන්වා තිබේ. කෙසේවෙතත් මෙරට බලධාරීන් පවසන ආකාරයට ඊමේල් පණිවිඩයක් මගින් කොළඹ වරායේ හාබර් මාස්ටර් නැවේ ප්‍රශ්නය දැනුවත්වී තිබුණේ, 20 වනදා පෙරවරු 10 . 19 ට යි. ඊ මේල් පණිවිඩ මෙරට නියෝජිතයින්ට පිටපත්වී තිබියදී, රේඩියෝ පණිවිඩ මගින් වරයා දැනුවත්වී තිබියදීත් නැවේ විනාශය අවම කර ගැනීමට හෝ පාලනය කර ගැනීමට අවස්ථාවක් නොතිබුණේ ද? සී අයි ඩී විමර්ශන සිදුවන අතර ප්‍රගතිය ඔවුන් වරින් වර අධිකරණයට ද වාර්තාකරමින් සිටී. දැන් එක්ස්ප්‍රස් පර්ල් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය කුමක් ද? නෞකා ගින්නෙන් සාගර පරිසරයට සිදූවූ හානිය පිළිබඳව වන්දියක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර කුමක්දැයි තවමත් ගැටලුවකි. නෞකාවේ හිමිකරුවන් වන, එක්ස්ප්‍රස් ෆීඩර්ස් සමාගම විසින් ජාත්‍යන්තර ඉන්ධන ප්‍රවාහන නෞකා හිමිකරුවන්ගේ සංගමය (ITOPF) හා ඕ.එස්.ආර් ලිමිටඩ් යන සමාගමත් ශ්‍රී ලංකා බලධාරීන් හා සම්බන්ධවී හානිය තක්සේරු කිරීමට පත්කර තිබේ. මෙම පත්කිරීම් සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා බලධාරීන් නොව සිංගප්පූරු සමාගමයි. ශ්‍රී ලංකාවේ සමුද්‍ර පරිසරයේ පරිපාලනය නෛතික බලය හිමිවන්නේ සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හෙවත් මීපා ආයතනයට නොවේද ? එසේ නම්, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානිය තක්සේරු කිරීමට ජාත්‍යන්තර ආයතන පත්කිරීමේ අයිතිය ඇත්තේද මීපා ආයතනයටයි. නමුත් තවමත් ශ්‍රී ලංකා පාර්ශ්වය විසින් මෙම කටයුතු පිළිබඳව වගකීමක් කිසිදු ආයතනයකට පවරා ඇති බවක් දක්නට නොමැත. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හිමි සමාගම විසින් මෙවැනි , අනතුරක් සම්බන්ධව තමන්ගේම නියෝජිතයින් පත්කිරීම අනුමත කරමින් ශ්‍රී ලංකාව සිදු කරන්නේ නරියාට කුකුල් කොටුවක් භාර දීම වැනි ක්‍රියාවක් නොවේ ද ? ඉන්ධන ප්‍රවාහන නෞකා හිමිකරුවන්ගේ සංගමය (ITOPF) හා ඕ.එස්.ආර් ලිමිටඩ් ස්ථාපිත කර ඇත්තේ නැව් හිමිකරුවන් සහ බලශක්ති සමාගම්වල අවශ්‍යතා වෙනුවෙනි. එසේනම් ශ්‍රී ලංකා මුහුදේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ට වගකීමක් තිබේදැයි ගැටලුවක් මතුවේ. එකී සංගම්වල අධ්‍යක්ෂ මණ්ඩලවල සිටින්නේ නැව් සමාගම්වල හිමිකරුවන්, රක්ෂණ ව්‍යාපාර සහ ඊට අනුබද්ධ සෙසු ව්‍යාපාරවල හිමිකරුවන් ය. ඒ අනුව එක්ස්ප්‍රස්පර්ල් නෞකාවේ හිමිකරුවන් විසින්ම මොවුන් පත් කිරීම දැඩි ලෙස අවධානය යොමු කළ යුතු කරුණක් නොවන්නේ කෙසේ ද? මේ අතරවාරයේ සමුද්‍රීය පරිසරය තවදුරටත් විනාශ වෙමින් තිබේ. අද දිනයේත් ස්ථාන කිහිපයකදී සුන්බුන් හා මියගිය මුහුදු ජීවින් හමුවිය. කවුරුන් කෙසේ වගකිව යුතු වුවත්, කවුරුන් කෙසේ වාසි ලැබුවත් මේ විනාශ වන්නේ අපේ වටිනා ස්වභාවික සම්පතයි. ශ්‍රී ලංකා මුහුද රැක ගැනීම අප සැමගේම වගකීම නොවන්නේ ද?