COLOMBO (News 1st) - ඇස්ට්‍රාසෙනෙකා හෙවත් කොවිෂිල්ඩ් එන්නත් මාත්‍රා දොලොස් ලක්ෂ හැට හතර දහසක් ශ්‍රී ලංකාව තුළට ගෙනවිත් තිබේ.
වසංගත රෝග විද්‍යා අංශයට අනුව ඉන් 925,242 ක් පළමු මාත්‍රාව ලෙස ලබා දී ඇති අතර දෙවන මාත්‍රව සඳහා යොදා ගෙන ඇති ප්‍රමාණය අද දහවල් වනවිට මාත්‍රා 354,651 කි.
ඒ අනුව මාත්‍රා දොලොස් ලක්ෂ 79,893 ක් මෙරට තුළ එන්නත් කර තිබේ.
එය මෙරටට ගෙන ආ නිල ලේඛනගත එන්නත් මාත්‍රා ප්‍රමාණයට වඩා මාත්‍රා 15,893ක වැඩිවීමකි.
ගාල්ලේදී පිට පළාත්වලින් පැමිණි බව කියන පිරිසකට කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම සහ වතුපිටිවල මූලික රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ඥාතීන්ට දෙවන මාත්‍රාව ලබා නොදීම යන ගැටලු මුල්කරගෙන මේ වනවිට අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත.
පෙරේදා(08) දිනයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එන්නත්කරණ ක්‍රියාවලියේ සිටින පළාත් සෞඛ්‍ය බලධාරීන්ට සියලු රෝහල් අධ්‍යක්ෂවරුන් ඇතුළු පාර්ශ්වයන්ට ලිඛිතව දැනුම් දී ඇත්තේ, ඔවුන් සතුව ඉතිරිවී තිබෙන සියලුම කොවිෂීල්ඩ් එන්නත් කුප්පි වහාම වසංගත රෝගවිද්‍යා අංශයේ මධ්‍යම එන්නත් ගබඩාවට එවන ලෙසය.
මෙම නියෝගයට අනුව එන්නත් කුප්පි 22ක් මධ්‍යම එන්නත් ගබඩාවට ආපසු එවීමට උත්සාහ කළ අවස්ථාවේ වතුපිටිවල රෝහලේ උණුසුම් තත්ත්වයක් ඇති විය.
සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමීප ඥානීත්ට දෙවන මාත්‍රාව ලබා නොදී එන්නත් කුප්පි 22 ආපසු හරවා යැවීමට එහිදී විරෝධය පළ වූ අතර අද එම කාර්යය මණ්ඩල රෝහල් කටයුතුවලින් ඉවත්වීමට පියවර ගත්තේ ය.
අප වාර්තාකරු ප්‍රකාශ කළේ, අද පස්වරුවේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව වැඩ වර්ජනය තාවකාලිකව අත්හිට වූ බවයි.
අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නියමය පරිදි ඉතිරිවී ඇති එන්නත් කුප්පි වසංගත රෝග විද්‍යා අංශයට ආපසු යැවීමට පියවර ගන්නා බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.එම්.එන් ආරියරත්න මහතා වර්ජනයේ නිරත වූ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට දැනුම් දී තිබේ.
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා දැනුම් දී ඇත්තේ, සමීප ඥාතීන්ගේ ලැයිස්තුවක් සකස් කර සේඛ්‍ය අමාත්‍යාංශයට යොමු කර කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව ලබාදීමට පියවර ගන්නා බවයි.
ඊයේ ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට සහ වසංගත රෝග විද්‍යාඥයාට ස්ථාන මාරුවීම් ලබාදීමට පියවර ගැනුණේ, ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව ලබාදීමේදී අක්‍රමිකතා සිදු වූ බවට නැගුන චෝදනා හේතුවෙනි.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,
අපි දන්නවා මිලියන ගාණක් මේ එන්නත් ලබාදෙනකොට දහස් ගාණක් මධ්‍යස්ථාන වෙනකොට මේ වගේ අයිසෝලේටට් සිද්ධින් සිද්ධ වෙනවා. ඒ හැම එකක්ම අපි වෙන වෙනම අධ්‍යනය කරලා එවැනි දේක සිදුවෙන වරදක් තිබෙනවා නම් ඒ වරද නිවැරදි කිරීම ක්ෂණිකව කරනවා.
මේ අතර කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාවරීවරුන් ,සමෘධි නිලධාරින් හා සංවර්ධන නිලධාරීන් එන්නත්කරණ කටයුතුවලින් ඉවත්වන බව අද ප්‍රකාශ කළේ ය.
ඊට හේතු වී ඇත්තේ ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාදුන් අයගේ ලැයිස්තුවක් මෙම නිලධාරීන් සෞඛ්‍ය අංශ වලින් ඉල්ලා ඇති අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊට විරෝධය පළ කර තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට දන්වා ඇත්තේ සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් පිටස්තර පාර්ශ්වවලට මේ තොරතුරු ලබාදිය නොහැකි බවයි.
කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයේ සභාපති කේ.පී.ප්‍රේමදාස මහතා,
මොකක්ද මෙතන තියන රහස මේ නාම ලේඛන ඉල්ලන එකට මේ නාම ලේඛන ඉල්ලන එකට දෙන්න අකමැති නම් අපි දන්නේ නැහැ. ඇයි ඒකට අකමැති කියන කාරණේ අපි අද උදේ සෞඛ්‍ය සේවා ප්‍රාදේශීය අධ්‍යක්ෂකතුමාත් එක්ක සාකච්චාවක් කරලා ඒ සාකච්ඡාවේදී එතුමා ප්‍රකාශ කළා දෙන්න එතුමා එකඟ වුණාට නාම ලේඛන නැහැ කියලා පළවෙනි එන්නත ගහපු ඒ අය බලාපොරොත්තු නොවන සහයෝගයක් නම් අපි දීලා තියෙන්නේ අපි ඒක නතර කරනවා
කොළඹ දිස්ත්‍රික් ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රසන්න ලාල් මහතා
අපිටත් මේ එන්නත ලබාගන්න ඕන අපිත් මේකේ ජීවත් වෙන මනුස්සයෝ වෛද්‍ය නිලධාරීන් වගේම අපිත් මේකේ ජීවත් වෙන්න ඕන අද ඉදලා කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ග්‍රාම නිලධාරීන් මෙම එන්නත්කරණ වැඩසටහනේ ඉවත්කිරීමට තීරණය කරලා තියනවා.
සමස්ත ලංකා සමෘධි නිලධාරීන්ගේ සංගමයේ කොළඹ දිස්ත්‍රික් සභාපති අසංක ජීවාස්ථ මහතා,
කොළඹ දිස්ත්‍රික්කය තුළ සමෘධි නිලධාරීවරු විදිහට අපි විශේෂයෙන්ම එන්නත්කරණ වැඩසටන තුළදී අපගේ සේවය අත්‍යවශ්‍යවෙන්නේ නැතිනම් අනවශ්‍ය නම් කිසිදු අකාරයකින් බලහත්කාරයෙන් මේක දෙන්න පෙළඹෙන්නේ නැහැ
සංවර්ධන සේවා නිලධාරීන්ගේ සංගමයේ කොළඹ දිස්ත්‍රික් සභාපති සමීර කැලුම් මහතා,
මෙච්චර දවසක් කරපු රාජකාරීය අවමනයට හෑල්ලුවට ලක්කිරීම පිළිබඳව අප කණගාටුව පළ කරනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා,
ඒ පුද්ගලයෝ ඉවත් කරන්න කියලා කොයිම වෙලාවකවත් අපි කියන්නේ නැහැ ඔවුන් මේ සංග්‍රමයේ ම කොටසක් ඒ පාර්ශවකරුවන්ට අදාළ කොටස දෙන්න ඕන ඔවුන්ට අදාළ නොවන කොටසක් දීලා මේක තවදුරටත් ඇනුනොත් ඒක ගැටලුකාරී තත්ත්වයක් වෙනවා