ශ්‍රී ලංකා-ද.කොරියා පාපන්දු තරගය TV 1 තුළින්

ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ ශ්‍රී ලංකා - දකුණු කොරියා පාපන්දු තරගය අද සවස 4.00 සිට TV 1 තුළින්..

by Staff writer 09-06-2021 | 1:21 PM

COLOMBO (News 1st) - ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ දෙවැනි වටයේ ශ්‍රී ලංකාව සහ සත්කාරක දකුණු කොරියාව අතර තරගය අද පැවැත්වේ.

වසර එක හමාරක විරාමයකින් පසුව ශ්‍රී ලංකාව මෙම සුදුසුකම් ලැබීමේ තරග වටයට එක් වේ. ඔවුන් පසුගිය සෙනසුරාදා ලෙබනනයට එරෙහි තරගයට එක් වූ අතර ගෝල 3ට 2ක් ලෙස පරාජය වූයේ, ප්‍රතිවාදීන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරමිනි. ශ්‍රී ලංකාව මේ වනවිට අන්තර්ජාතික පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 204 වැනි ස්ථානයේ පසුවන අතර සත්කාරක දකුණු කොරියාව 39 වැනි ස්ථානයේ පසු වෙයි. ආසියානු කලාපයේ ප්‍රබල කණ්ඩායමක් වන දකුණු කොරියාව එරෙහිව කරට කර තරග කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය දිනවල පුහුණුවීම්වල නිරත වූයේ, ප්‍රධාන පුහුණුකරු ඔස්ට්‍රේලියානු ජාතික අමීර් අලජික් මහතාගේ මග පෙන්වීම යටතේය. ශ්‍රී ලංකා - දකුණු කොරියා තරගය මෙරට වේලාවෙන් සවස 4.00 ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. තරගය TV 1 නාලිකාව ඔස්සේ සජීව ලෙස විකාශය කිරීමට නියමිතය.