ගිනිගත් නෞකාවෙන් වෙරළට ගොඩ ගැසු අපද්‍රව්‍ය විශාල ගබඩාවක රැඳවීමට සැලසුම් - මධ්‍යම පරිසර අධිකාරිය

by Staff writer 09-06-2021 | 9:28 PM

COLOMBO (News 1st) - එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වෙරළට ගොඩ ගැසු අපද්‍රව්‍ය විශාල ගබඩාවක රැඳවීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර තිබේ.

එහි සභාපති එස්. අමරසිංහ මහතා සඳහන් කළේ, දෛනිකව වාර්තාවන ද්‍රව්‍ය හේතුවෙන් මෙම තීරණයට එළැඹුණු බවය. මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ ප්ලාස්ටික් කොටස් ඇතුළු ඇතැම් ද්‍රව්‍ය තවදුරටත් මෙරට බටහිර සහ දකුණු වෙරළ තීරයේ තැනින් තැනට ගොඩගසමින් තිබේ. එලෙස එක්රැස් වූ අපද්‍රව්‍ය මේ වනවිට තැම්පත් කර තිබෙන්නේ වත්තල ප්‍රදේශයේ පෞද්ගලික ස්ථානයකයි. නෞකාවේ බහාලුම් 1,486 න් 823 ක පමණ පොලිතින් සහ ප්ලාස්ටික් ඇතුළු ද්‍රව්‍ය තිබී ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය අප කළ විමසීමකදී කියා සිටියේ ය. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතා,
අපිට කියන්න පුළුවන් සම්පුර්ණ බෑග්වලින් පුරෝපු කන්ටේනර් දැනට 41 ක් ගෙනල්ලා තියෙනවා. මුහුදු වෙරලේ බෑග්වල දාපු ප්‍රමාණය තියෙනවා තවත් කන්ටේනර් 10 කට තරම් ප්‍රමාණයක්. ඒ සඳහා තවත් ඒ කන්ටේනර් සමාගමට කිව්වා කරුණාකරලා අපිට තවත් ටැංකි 10 ක් දෙන්න අදම මේවා ඉවත් කරගන්න කියලා. ඉවත් කරන්න ඉවත් කරන්න හැමදාම අලුතින් එන ප්‍රමාණයක් තියෙනවා.

මුහුදේ තත්ත්වය කුමක් ද?

නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් සිදුවන බවට මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර තවදුරටත් එය සමීපව නිරීක්ෂණය කරමින් සිටී.
රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා, තෙල් කාන්දු වීමක් වාගේ දේවල් තියෙනවාද කියලා තාම අපිට කියන්න බෑ. එහෙම ඇති වුණොත් ඒවාට මුහුණ දෙන්න අපි සියලුම දේවල් සූදානම් කරලා උපකරණ සුදානම් කරලා කණ්ඩායම් සූදානම් කරගෙන ඉන්නේ. මේකෙන් වෙන්න තිබ්ච්ච හානිය අපි බොහෝ දුරට ඉතාමත් කඩිනමින් අවම කරගන්න පුළුවන් වුණා අපේ සුදානම්භාවය නිසා.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහදපුර මහත්මිය,
විදේශීය ආයතන 2 ක් සම්බන්ධවෙලා තියෙනවා මේ අවස්ථාවේ අයිතිකාර සමාගම සමග අයිටොෆ් සහ ඕඑස් ආර් කියන සමාගම් 2 ඔවුන්ගේ නියෝජිතයනුත් ලංකාවට පැමිණ තිබෙනවා. ඔවුන් මේ අවස්ථාවේදී වෙරළ තීරය සහ මුහුද නැව අවට සමීක්ෂණය කරමින් සිටිනවා. අපි ඔවුන්ගෙන් ඉල්ලා තිබෙනවා මෙන්න මේ තාක්ෂණය අපිට දෙන්න. මුහුදු පත්ල පිරිසිදු කිරීමට සහ ගවේෂණය කිරීමට.

? මුහුදට වැටුණු බහලුම්වලට මොකද කරන්නේ ?

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතා,
නැව් සමාගමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වගකීම පවරලා තියෙනවා දැනට මුහුදට වැටිලා තියෙන ටැංකි ටික ගෙනල්ලා අපිට භාර දෙන්න කියලා. අද උදේ මං සාකච්ඡා කළා නැව් සමාගම සම්බන්ධ ආයතනය සමග ලංකාවේ කටයුතු කරන ආයතනය. ඒගොල්ලන් කිව්වා දැනට පටන් අරන් තියෙන්නේ. හැබැයි තාම එක ටැංකියක්වත් ගොඩට ගෙනාවේ නෑ කියලා.

? නෞකාවෙන් සිදු වූ හානියට අදාළ ඉදිරි අධිකරණ කටයුතු මෙරටදී සිදු කිරීමට නොහැකි වෙයි ද?

මාධ්‍යවේදී ප්‍රශ්නය,
නැව පිළිබඳව පරීක්ෂණ කිරීමට ලංකා අධිකරණයට මොනාහරි බාධාවක් තියෙනවා ද? අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබිරි මහතා, නෑ ඉතින් නීතිඥවරු මමත් නීතිඥයෙක්නේ. විවිධ දේවල් තර්ක කරනවා තමන්ගේ සේවාදායකයා වෙනුවෙන්. ඉතින් මේ අධිකරණයට බලය තියෙනවාද? වෙන රටක අධිකරණයට බලය තියෙනවාද කියන එක තීරණය කරන්න ඕනේ අවසාන වශයෙන් අධිකරණය විසින්. නීතිමය කරුණු හා නීතිමය කටයුතුවලට බාධාවිය හැකි කරුනු පිළිබඳව ප්‍රසිද්ධියේ සාකච්ඡා කරන්නට මම කැමති නෑ.

?මෙතරම් විනාශයක් රටට සිදු කළ නෞකාව කොළඹ වරායට පැමිණියේ නෞකාව තුළ වූ උපද්‍රවකාරී තත්ත්වය පිළිබඳව සත්‍ය තොරතුරු වසන් කරමින් ද?

මේ වනවිට අනාවරණ වී ඇති කරුණු අනුව එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මැයි 10 වැනි දා පස්වරු 3.00 ට ඩුබායි හි ජෙබල් අලි වරායෙන් පිටත්වන විටත් නෞකාවේ බහාලුමක කාන්දුවක් ඇති බව දැන සිට තිබේ. ඉන්දියාවේ හසීරා වරායේදී අදාළ කාන්දුව සහිත බහාලුම ගොඩබෑමට එම වරායෙන් සිය නියෝජිතයා හරහා කර තිබූ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස ලැබී තිබුණේ නෞකාවේ පැවති කාන්දුව දැඩි එකක් බවය. එය ගොඩබෑමෙන් වරාය දේපොළට පවා හානි වියහැකි බව ඔවුන් පෙන්වා දී තිබුණි. නෞකාව මැයි මස 15 වැනි දා රාත්‍රී 7.00 ට පමණ එම වරායෙන් ශ්‍රී ලංකාව බලා යාත්‍රා කළේ එම අවදානමක් සහිතව නොවේ ද?

? මේ අවදානම් තත්ත්වය පිළිබඳව මෙරට බලධාරීන් පූර්ව දැනුවත් කිරීම් කර තිබුණා ද?

කපිතාන්වරයා නෞකාවේ වූ අවදානම් තත්ත්වය මෙරට බලධාරීන් දැනුවත් නොකළත් ඉන්දියාවේ හසීරා වරායේ ඒජන්තවරයා මෙරට ඒජන්තවරයා දැනුවත් නොකලේ යැයි සිතිය හැකි ද? යම් හෙයකින් කපිතාන්වරයා විසින් මෙරට ඒජන්තවරයාට නෞකාවේ වූ භයානක තත්ත්වය පිළිබඳ දැනුම් දුන්නේ නම් ඔහු එය එය ශ්‍රී ලංකා වරයා අධිකාරියේ හාබර් මාස්ටර්ට දැනුම් නොදුන්නේ ද? හසීරා වරායෙන් මෙම බහලුම ඉවත් කිරීම අවදානම් බව දැනුම් දෙන්නේ අදාළ බහාලුම පිළිබඳ නැවේ කපිතාන්වරයා යොමු කළ ජායාරුප නිරීක්ෂණයෙන් නම් එම අවදානම පිළිබඳ මෙරට බලධාරීන් දැනුවත්ව නොසිටියේ ද?

? විෂය භාර අමාත්‍යවරයා හදිසියේ ගින්න පාලනයට මැදිහත් වුණේ ඇයි ?

දුෂණ විරෝධී පෙරමුණේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා,
එන මොහොතේ සිට මේ නැව මේ වාගේ ප්‍රශ්නයක තියනවයි කියන කාරණය පිළිබඳව අදාළ නැව් සමාගම් අවබෝධයක හිටියා. මේ නැව අපේ මුහුදු සීමාවට එන්නේ මැයි මාසේ 19 වෙනි දා හවස 4 , 5 වෙද්දි මේ නැව් සමාගම මේල් පණිවුඩ මගින් මේ අදාළ ඒජන්තයන්ට දැනුම් දීලා තියෙනවා. ඒවාගේම මේ 19 වෙනි දා නැව් සමාගම මේ නැව ඇවිල්ලා අවුට් හාබර් එකේ පාර්ක් කරන කොටත් රෑ 11 පහුවෙලා 12 ට කිට්ටුයි ඒ වෙන කොටත් ලංකාවේ නියෝජිතයන්ට මේ ගැන කියලා තිබුණා. ඒ කියලා තිබිච්ච පණිවුඩය නැවත නැවේ කපිතාන්ට කියලා තිබුණා නැවේ හාබර් මාස්ටර්ට කතා කරලා මේ ගැන මොකක්ද කරන්නේ කියලා දැනුම් දෙන්න කියලා. මොකද ඒ වෙනකොට ඔවුන් නිරීක්ෂණය කරලා තිබුණා දුම් නගින තත්ත්වයක් තියෙනවා කියලා. වරායභාර ඇමතිවරයාත් මේ අදාළ ආයතනත් කළ යුතු ක්‍රියාවලිය සිදු නොකර ඇමතිවරයා නිකන් අර සේලලමට ගහපු ගිනි ගොඩාක් නිවනන් යනවා වාගේ වතුර ගහන වැඩේට නායකත්වය දීලා අපි දැන් නැව නිවලා තියෙන්නේ අපි ඔන්ලයින් ඉන්නවා කිය කිය ගියපු එකෙන් වෙච්ච හානිය තමයි මේ තියෙන්නේ.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා,
වෙසක් එකට රටේ තියෙන ලොකුම වෙසක් කූඩුව පත්තු කරා. ඒකෙන් වෙන හානිය බැලුවේ නෑ. මේ නැව එනකොට ලොකු එළියක් විහිදුණා නෙ. මේ ගැන පරීක්ෂණ කණ්ඩායම නිරීක්ෂණ කණ්ඩායම් දැම්මේ නෑ. විශේෂඥයෝ දාලා හෙව්වද මුකුත් කරේ නෑ නැව ලංකාවට ගෙන්න ගත්තා. නැව ගිලෙන කොටත් රෝහිත ඇමතිතුමා ගිහිල්ලා ගිනි ගන්න ඔන්න මෙන්න තියලා කන්ට්‍රෝල් රූම් එකට ගිහිල්ලා කෝල් කරනවනේ, ප්‍රශ්නේ ඉවරයිනේ කියලා එනවා රටට පේන්න. නැව ගිනිගත්තා නැවේ තියෙන රසායනවලින් සියයට 7 යි තාම මුහුදට මුසු වෙලා තියෙන්නේ. කවුරුහරි කතා කරපුහාම කීයක් හරි සාක්කුවට දාගෙන මාරුවෙන උවමනාව මිසක්කා රට හදන්න රට බේරගන්න උවමනාවක් මේගොල්ලන්ට නෑ.