''Port City හරහා හැරවුම් ලක්ෂයක් සනිටුහන්  කරනවා''

''Port City ව්‍යාපෘතිය හරහා හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරනවා'' - අගමැති

by Staff writer 08-06-2021 | 9:33 PM

COLOMBO (NEWS1ST) :  කොව්ඩ් වසංගතය මධ්‍යයේ වුව ද කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හරහා රට තුළ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, 2021 ශ්‍රී ලංකා ආයෝජන සමුළුව අමතමිනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 ශ්‍රී ලංකා ආයෝජන සමුළුව ඊයේ ඇරඹුණු අතර අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ ඊට රටවල් 65 ක් සම්බන්ධවිය. අද සමුළුව ඇරඹුණේ, අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙනි. සමුළුව අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවුසවේ, පෝට් සිටි ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීතිමය රාමුව සකස් කොට ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවයි. නව පෝට් සිටි නගරය පදන ම්කොට ගෙන ඊළඟ අවුරුදු 5 තුළදී රට තුළට අවම වශයෙන් ඇ. ඩො. බිලියන 15ක පමණ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට කටයුතු කරගන යන බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය.
''කොළඹ පෝට් සිටි ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීතිමය රාමුව සකස් කොට ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා. රටේ සර්ව ආර්ථික සාධක යහපත් මාවතකට ගෙන යාමට සැලසුම් ක්‍රියාත්මක කරනවා. ඒ අනුව අපිට රට නැවත 6%ක පමණ වර්ධන වේගයක් ඉක්මවා යන මාවතකට අපි දැන් යොමු වෙමින් සිටිනවා. නව පෝට් සිටි නගරය පදනම්කොට ගෙන ඊළග අවුරුදු 5 තුළදී අප රට තුළට අවම වශයෙන් ඇ. ඩො. බිලියන 15ක පමණ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අපි දැන් කටයුතු කරගන යනවා. ඒ සඳහා අවශ්‍ය නීතිමය හා ව්‍යාපාර කිරීමේ රාමුව අද වන විටත් නව පනතක් මගින් ස්ථාපනය කරලා තියෙනවා. ඒ හරහා කොවිඩ් වසංගතය මධ්‍යයේ වුවද, අප රටේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කිරීමට අපිට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරනවා. අපි බලාපොරොත්තු වන්නේ ලෝකයේම ඉහළ පෙළේ  ආයෝජකයන් අප රටට පිවිසෙන්නට දිරිමත් කිරීමයි. වර්තමානයේදී ණය ගන්නවා වෙනුවට ණය නොවන විදේශ විනිමය ගලා ඒම් අපි ඉලක්ක කරගත යුතුයි. ඒ සඳහා විවිධ වැඩසටහන් හා මෙවලම් අපි ක්‍රියාත්මක කළ යුතුයි''
මේ අතර යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමුළුව අමතමින් පැවසුවේ, 2021 අග වන විට හෝ 2022 මුල භාගය වන විට සමස්ත ජනතාවටම එන්නත් ලබා දී ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන බවයි. වසංගත සමයේත් වසගතයට පෙරත්, වසංගතයට පසුත්, ජාතික ආර්ථිකය සුරැකීම ශ්‍රී ලංකාවට තීරණාත්මක සාධයක් වී ඇති බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය.
''අපි ප්‍රමාණවත් එන්නත් ලබා ගැනීමට කටයුතු කරනවා. එමගින් අපි 2021 අග වන විට හෝ 2022 මුල භාගයේදී සමස්ත ජනතාවටම එන්නත්කරණය දීලා ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරනවා. කුඩා රටක් වන අපිට ලොකු කාලයක් ලොක් ඩවුන් කරලා තියන්න බැහැ. විශේෂයෙන්ම අපි ශක්තිමත් ආර්ථිකයක් නැති රටක්. වසංගතය පාලනය කරනවා වගේම ආර්ථිකය හා ජනතාවගේ ජීවනෝපායද කළනාකරණය කරන්න ඕනේ. වසංගත සමයේත් වසගතයට පෙරත්, වසංගතයට පසුත්, ජාතික ආර්ථිකය සුරැකීම ශ්‍රී ලංකාවට තීරණාත්මක සාධයක් වෙලා තියෙනවා. මේ වන විට අපි අවධානය යොමු කරලා තියෙන්නේ ශ්‍රී ලංකාව තුළ MICE සංචාරක කර්මාන්තය දියුණු කිරීමට, ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම අද්විතීය වන අතර, එය හොඳාකාරව තේරුම් ගැනීම මගින් අපිට පුළුවන් වෙනවා, අපටත් අප රටේ හවුල්කාර පාර්ශ්වයන්ටත් විශාල වාසි ලබා ගන්න. මම විශ්වාස කරනවා, ශ්‍රී ලංකාව විශේෂ රටක්. මෙය අවස්ථාවන්වලින් පිරිපුන් දේශයක්''