පොලිස් මූලස්ථානයෙන් දැනුම්දීමක්

සමාජ මාධ්‍යයේ අසත්‍ය ප්‍රචාරය කළොත් වරෙන්තු නැතිව අත්අඩංගුවට ගත හැකියි - පොලීසිය

by Staff writer 08-06-2021 | 8:15 PM

COLOMBO (NEWS1ST) : සමාජ මාධ්‍ය ජලා ඔස්සේ විවිධ අසත්‍ය තොරතුරු, ඡායාරූප සහ වීඩියෝ දර්ශන ප්‍රචාරය කරන්නන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමේ හැකියාව ඇතැයි, පොලීසිය දැනුම් දෙයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත්කරමින් එවැනි අසත්‍ය තොරතුරු මගින් සිදුවිය හැකි වැරදි පිළිබඳව කරුණු දක්වා තිබේ. එම වැරදි වන්නේ, ⭕ මහජන සාමය බිඳවැටීම. ⭕ විවිධ ජාතීන් හෝ ආගම් අතර බේද ඇතිවීම. ⭕ ළමුන්ට හෝ කාන්තාවන්ට එරෙහි ලිංගික අපරාධ සිදුවීම. ⭕ ආගම් ඇදහීම්වලට පීඩා සිදුවීම. ⭕ විවිධ වංචා සිදුවීම. මීට අමතරව අසත්‍ය තොරතුරු මත පදනම්ව මහජනතාව නිරෝධායන රීතිවලට පටහැනිව කටයුතු කිරීම සඳහා පෙළඹවිය හැකි බව ද නිරීක්ෂණය කර ඇතැයි, පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති, සිවිල් හා දේශපාලන සම්මුති පනත, පරිගණක අපරාධ පනත, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අසභ්‍ය ප්‍රකාශන පනත යන පනත්වල වගන්ති අනුව මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගත හැකි බවයි. එම නිසා සමාජ මාධ්‍ය ජාලා භාවිත කරමින් සංවිධානාත්මකව හෝ පෞද්ගලිකව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම හෝ ඒ සඳහා සහය වීම හෝ අනුබලදීමෙන් වළකින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර ජනාධිපති කාර්යාලය ඇතුළු රජයේ ආයතන කිහිපයක වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි, අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍යයට මුදාහැරීමේ චෝදනා මත ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නමැති සංවිධානයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ. අද සැකකරු නමැත්තෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසුරිය මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව නියෝග කළේ, හෙට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.