ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා කනස්සල්ලෙන්

වසංගතයේ මූලාරම්භය ගැන තොරතුරු දෙන්නැයි, චීනයට බල කළ නොහැකියි - WHO

by Staff writer 08-06-2021 | 8:23 AM

COLOMBO (NEWS1ST) :  කොරෝනා වෛරසයේ මූලාරම්භය පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි, චීනයට බල කළ නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එහි හදිසි අවස්ථා පිළිබඳ වැඩසටහන් අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබුණේ එවැනි බලයක් ලෝක සෞඛ්‍ය සංවිධානය සතුව නොමැති බවයි. එහෙත්, අදාළ පරීක්ෂණ සඳහා සියලු රටවල සහය අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේ ය. කොරෝනා වෛරසය වූහාන්හි විද්‍යාගරයකින් සමාජගත කළ බවට සහ එය වවුලන්ගෙන් ව්‍යාප්ත වූ බවට මේ වන විට මත දෙකක් පවතී. ඒ පිළිබඳ විමර්ශනයට චීනය බලා පිටත්ව ගිය විමර්ශන කණ්ඩායම සඳහන් කළේ, නිවැරදි දත්ත ලබාගැනීමට නොහැකි වූ බවයි. කෙසේ වෙතත්, වූහාන් විද්‍යාගාරයකින් වෛරසය නිකුත් කළ බවට වන චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව, චීනය ප්‍රකාශ කළේ ය. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ට්‍රෙඩ්රෝස් ඇඩ්නම් සඳහන් කළේ දිළිඳු රටවල සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා මෙතෙක් එන්නත් ලබාදීමට නොහැකි වීම පිළිබඳව දැඩි කනස්සල්ලෙන් පසුවන බවයි.