මධ්‍යම අධිවේගය නිසා ගම් යටවීම සිදුවේද?

මධ්‍යම අධිවේගී මාර්ගය නිසා ගම් යටවීම සිදුවේද?

by Staff writer 08-06-2021 | 9:32 PM

COLOMBO (News 1st) - කඩවත සිට මීරිගම දක්වා මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුවන ස්ථාන ආශ්‍රිත නිවාස ජලයෙන් යටවීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විමතිය පළ කරති.

පසුගිය දිනවල ඇඳහැළුණු අධික වර්ෂාවත් සමග ගම්පහ නගරය ඇතුළු දිස්ත්‍රික්කයේ ස්ථාන ගණනාවක් ජලයෙන් යට විය. අත්තනගලු ඔය පිටාර ගැලීමෙන් තවමත් ජාඇල - කදාන සහ ජා ඇල - ගම්පහ මාර්ග ජලයෙන් යට විය. ගම්පහ ජනතාව පවසන්නේ, කිසි දිනෙක බල නොපාන ලද මෙම ගංවතුර තත්ත්වය නිසා කුඹුරු ඉඩකඩම් දේපොළ ව්‍යාපාර සියල්ල විනාශයට පත්ව ඇති බවයි. වෙළෙඳසැල්වල බඩුබාහිරාදිය සියල්ලක්ම පාහේ විනාශ වී ඇති ඇති අතර ලක්ෂ ගණනින් අලාභහානි සිදුව ඇති බව ඔවුන් පෙන්වා දෙයි. ගම්පහ, මගලේගොඩ ප්‍රදේශයේ දමා ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා ගෙන ආ පස් කඳු හේතුවෙන් ජලය බැස නොයන බව පවසමින් ප්‍රදේශවාසීන් අද පෙරවරුවේ විරෝධතාවක් ද පැවැත්වීමට සූදානම් විය. නමුත් පොලීසිය මැදිහත්ව එය වැළැක්වීමට පියවර ගත්තේ නිරෝධායන නීතිරීති කඩවන බව පවසමිනි. මේ අතර කොටිකාවත්ත කසළ කන්ද ආශ්‍රිත ප්‍රදේශයේ මේ වනතෙක් ජලය රැඳී තිබේ. ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ, අනවසර ඉඳිකිරීම්, කාණු පද්ධති අවහිර වීම් ඊට හේතුව බවයි. මේ අතර වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද ගංවතුර ඇති ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත විය.