අසාමාන්‍ය ලෙස කැස්බෑවුන් මිය යන්නේ ගිනිගත් නැවේ බලපෑමෙන් ද?

by Staff writer 08-06-2021 | 9:02 PM

COLOMBO (News 1st) - ලෝක සාගර දිනය යෙදී ඇති අද, සාගරය නිජ භූමිය කරගත් සත්ත්ව කොට්ඨාසයකට අත්ව ඇති අතිශය සෝචනීය ඉරණම අපට වාර්තා කිරීමට සිදු වන්නෙමු.

කැස්බෑවන් කියන්නේ, වසර සිය ගණනක ආයුෂ හිමි අහිසංක සත්ත්ව කොට්ඨාසයකි. ගත වූ දින 10 ක කාලය තුළ මෙරට වෙරළ තීරයෙන් මියගිය කැස්බෑවන් 19 දෙනෙකු හමුවිය. ආසන්නතම සිදුවීම් වාර්තා වුණේ, වැල්ලවත්ත සහ රැකව මුහුදු තීරයෙනි. මෙරට සාගර කලාපය මෙන්ම මෙරට සුන්දර වෙරළ තීරය කැස්බෑ විශේෂ 05 කගේ නිජබිමයි. ගල් කැස්බෑවා එහෙමත් නැත්තම් මාන කැස්බෑවා කියලා කියන්නේ, අපේ වෙරළේ වැඩි වශයෙන් බිත්තර දැමීම සිදු කරන කැස්බෑ විශේෂයකි. ඊට අමතරව බටු කැස්බෑවන් ද අපේ මුහුද කලාපය තුළ හමුවේ. මෙරට මුහුදු තීරය ආශ්‍රිතව සිදුවන පරිසර හානියේ තරම නිසාම මේ කැස්බෑවන් අද පත්ව සිටින්නේ දැඩි අවදානමකටය. කොළඹ වරාය ආසන්නයේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම ආරම්භ වී මේ වනවිට දින 18 කි. ගින්න ආරම්භ වී දින 8 කට පසුව මියගිය කැස්බෑවෙකුගේ සිරුරක් මුලින්ම හමු වූ අතර එතැන් සිට මේ දක්වා පානදුර, මීගමුව, තොඩුවාව, උණවටුන, කොස්ගොඩ, උතුරු පයාගල , දෙහිවල, වාද්දුව තල්පිටිය, අඟුලාන තල්පිටිය, මුන්දලම සින්නපාඩුව, රැකව ඇතුළු වෙරළ තීරයන්ගෙන් මිය ගිය කැස්බෑවන් 19 දෙනෙකු හමු වී තිබේ. අද පෙරවරුවේ වැල්ලවත්ත සහ රැකව මුහුදු තීරයට ද කැස්බෑ සිරුරු ගඩ ගසා තිබුණි. රැකව මුහුදු තීරයට අද පෙරවරුවේ ගොඩ ගසා තිබු මේ කැස්බෑවා උග්‍ර තර්ජිත කැස්බෑ විශේෂයක් ලෙස සැලකෙන පොතු කැස්බෑවෙකි. ඉකුත් දින කිහිපයේ වෙරළට ගොඩ ගසා තිබූ කැස්බෑවන් 10 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ අත්තිඩිය වනජීවී රැඳවුම් මධ්‍යස්ථානයෙන් සිදු කර තිබේ. එහි නිලධාරියෙකු පැවසුවේ, කැස්බෑවන් මෙලෙස මියයාමට එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් සිදු වූ පාරිසරික බලපෑම් හේතු වන්නට ඇතැයි සැක කරන බවයි. ඇතැම් සත්ත්ව කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රස පරීක්ෂක වෙත යොමු කර ඇති බව ද ඔවුන් පැවසීය.

ඇත්තටම කැස්බෑවන් හදිසියේ මියගියේ ඇයි ?

මුහුදු කැස්බෑවන් පිළිබඳ විශේෂඥ තුෂාන් කපුරුසිංහ මහතා,
දැන් දැන් අපිට හිතන්න සිද්ධ වෙනවා මේ සඳහා පැහැදිලිවම මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට නිකුත් වුණු විෂ රසායන ද්‍රව්‍ය මේ මරණයට වගකිව යුතුයි කියලා අපිට හිතෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම අපි බැලුවොත් මිය ගිහිල්ලා ගොඩබිමට පැමිණි කැස්බෑ විශේෂ ගැන අපි කතා කළොත් ග්‍රීන් ටර්ට්ල් කියින විශේෂය. ඊට අමතරව මුහුදුට ගිහිල්ලා අපි බැලුවොත් අපිට සුලබව දකින්න ලැබෙන්නේ කුඩාම කැස්බෑ විශේෂය. ඒගොල්ලොත් විශාල වශයෙන් අපිට මිය ගිහිල්ලා දකින්න ලැබෙනවා. මීට අමතරව ලංකාවේ පර ආශ්‍රිතව වාසය කරමින් පොතු කැස්බෑවා එහෙම නැත්තම් ලෙලි කැස්බෑවා කියලා අපි හඳුන්වන විශේෂයත් අපිට වාර්තා වනවා. පොතු කැස්බෑවා කියන්නේ ලෝකයේ උග්‍ර ලෙස වඳ වී යාමට පාත්‍ර වූ කොටසට අයත්වන සත්ත්වයෙක්.