? මෙවර තේමාව "සාගර ජීවිතය සහ ජීවනෝපාය"
? මිනිස් පරිභෝජනයට ගත හැක්කේ 0.3%ක ජල ධාරිතාවක්
?පෘථිවියේ සිටින සතුන්ගෙන් 95% ක්ම ජීවත්වන්නේ සාගරයේ..
? ශ්‍රී ලංකා මුහුදු කලාපයට (Sea of Sri Lanka) වාර්ෂිකව ටොන් මිලියන 0.24 ත් 0.64 ත් ප්‍රමාණවයක් අපද්‍රව්‍ය මුදා හරී..
COLOMBO (News 1st) - අද ලෝක සාගර දිනයයි.
මෙවර එහි තේමාව වී ඇත්තේ "සාගර ජීවිතය සහ ජීවනෝපාය" යන්නයි.
සමස්ත පෘථිවි ගෝලයෙන් ගොඩබිමට හිමි වන්නේ 29% කි.
අනෙක් 71 % ආධිපත්‍ය ජල ගෝලයට හිමිවේ.
නමුත් එතරම් ජලයක් මේ පෘථිවි තලය මත තිබුණත් මිනිස් පරිභෝජනයටගත හැක්කේ 0.3% ක් තරම් අඩු ජල ධාරිතාවකි.
ලෝකයේ පවතින ජල ප්‍රමාණයෙන් 97% ක් ම කරදිය ලෙස සාගරයේ තිබේ.

පෘථිවියේ සිටින සතුන්ගෙන් 95% ක්ම ජීවත්වන්නේ මේ සුන්දර සාගරය තුළයි.
සාගරයේ පැවැත්ම, භූමියේත් ජීවයේත් පැවැත්මට ලබා දෙන්නේ අසීමාන්තික දායකත්වයකි.
අපට අවශ්‍ය ඔක්සිජන් ප්‍රතිශතයෙන් සියයට 50 ත් 85 ත් අතර ප්‍රමාණයක් සාගරයෙන් හිමිවන අතර කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතයෙන් 30% ක් අවශෝෂනය කර ගන්නේ ද සාගරයයි.

පෘථිවියේ විශාලතම ආහාර ගබඩාව හා ඉන්ධන ගබඩාව ලෙස ද මහා සයුර හැඳින්වීම වරදක් නැත.
මෙවන් අසීමාන්තික දායකත්වයක් ලබා දෙන සාගරය, අද වනවිට බරපතල තර්ජනයකට ලක්ව තිබේ.
මින් ප්‍රබලතම තර්ජනය ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු විවිධ අපද්‍රව්‍ය සාගරයට මුදා හැරීමයි.
වාර්ෂිකව සමස්ත ලෝකයේ සාගර පද්ධතියට එක්වන ප්ලාස්ටික් හා පොලිතීන් ප්‍රමාණය ටොන් මිලියන 8.8 කි.
ශ්‍රී ලංකාවත් අද වනවිට එහි ප්‍රධානතම චූදිතයෙකි.
ශ්‍රී ලංකාවට හිමි සී ඔෆ් ශ්‍රී ලංකා (Sea of Sri Lanka) හෙවත්, ශ්‍රී ලංකා මුහුදු කලාපය රට මෙන් 08 ගුණයක් විශාලය.
මේ ශ්‍රී ලංකා මුහුදු කලාපයට වාර්ෂිකව මුදා හැරෙන අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් මිලියන 0.24 ත් 0.64 ත් අතර වේ.
ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය වලින් නිරන්තරයෙන් දූෂණය වන අපේ මුහුදට ඉතිහාසයේ නොවූ විරු හානියක් සිදුවන්නේ මීට දෙසතියකට පමණ පෙරයි.
එහි ආදීනව කොතෙක් දුර දිග යාවිදැයි අපට පුරෝකතනය කරන්න බැරිය.
මොකද මුහුද කියන්නේ ප්‍රවාහයකි.
දැන්වත් මේ සිදුව ඇති විනාශයෙන් සාගරය රැක ගැනීමට අප කටයුතු කළ යුතු නොවේද?
එසේ නොකළහොත් අපගේ අනාගත පරපුර ද අමාරුවේ වැටෙනවා නොඅනුමානයි.
