ලිලී කුමරියට බකිංහැම් මාළිගයෙන් සුබ පැතුම්...

හැරි - මේගන් යුවළගේ ලිලී කුමරියට රජ මාළිගයෙන් සුබ පැතුම්

by Sagarika Chathumali 07-06-2021 | 5:13 PM

COLOMBO (NEWS1ST) :  සසෙක්ස්හි ආදිපාද සහ ආදිපාදවරිය වන හැරි - මේගන් යුවළ  සිය දෙවන දරුවාගේ උපත ප්‍රකාශයට පත් කිරීමෙන් පසු දෙවන එළිසබත් මහ රැජිණ  ඇතුළු රජ පවුලේ සාමාජිකයින් බෙහෙවින් සතුටට පත් වූ බව බකිංහැම් මාළිගය නිවේදනය කරයි.

පසුගිය සිකුරාදා කැලිෆෝනියාවේ සැන්ටා බාබරාහි රෝහලකදී  මේගන් කුමරිය සිය දෙවන දරුවා ලෙස බිළිඳියක ප්‍රසූත කළා ය. හැරි ‌- මේගන් යුවළ අලුත උපන් බිළිඳියට නම් තබා ඇත්තේ, ලිලිබෙට් ඩයනා මවුන්බැටන් - වින්ඩ්සර් ලෙසයි. හැරි - මේගන් යුවළ සිය දියණියට නම් තැබීමේදී මහ රැජිණගේ කුඩා කල සුරතල් නාමය වන 'ලිලීබෙට්' සහ හැරී කුමරුගේ මවගේ නම වන 'ඩයනා' නාමය ද ‍ ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. මේ අතර චාල්ස් කුමරු, විලියම් - කේට් යවුළ ද අලුත උපන් බිළිඳියට සමාජ මාධ්‍ය ඔස්සේ සුබ පැතුම් එක් කර තිබේ. බකිංහැම් මාළිගය උපුටා දක්වමින් විදසේ මාධ්‍ය වාර්තා කරන්නේ, බිළිඳියගේ උපත පිළිබඳ පුවත ඇසීමෙන් පසු මහරැජිණ, චාල්ස් කුමරු , කැමිලා කුමරිය මෙන්ම විලියම් සහ කේට් යුවළ ද ඉමහත් සේ සතුටට පත් වූ බවයි. මේ අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ද ලිලී කුමරියගේ උපත වෙනුවෙන් හැරි - මේගන් යුවළට සුබ පැතුම් එක් කර තිබේ. ලිලී කුමරිය එලිසබත් රැජිණගේ මී මුණුබුරු ,මිණිබිරි ලැයිස්තුවේ 11 වැන්නිය මෙන්ම රජ කිරුළට හිමිකම් කියන 8 වැන්නිය ද වනු ඇති. ලිලී කුමරියගේ වැඩිමල් සොයුරා වන හැරි - මේගන් යුවළගේ වැඩිමල් පුතු අචි කුමරුගේ උපත සිදු වූයේ 2019 වසරේදී ය. මේ වනවිට කැලිෆෝනියාවේ ජීවත් වන හැරී - මේගන් යුවළ මෙම වසරේ මාර්තු මාසයේදී රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රජ පවුල සම්බන්ධයෙන් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ ලොව පුරා කතාබහට ලක් විය.