අබුබකර් ෂෙකාවෝ සියදිවි නසා ගත්තා ද?

බොකෝ හරාම් නායකයා සියදිවි නසා ගත් බවට වාර්තා

by Sagarika Chathumali 07-06-2021 | 11:30 AM

COLOMBO (NEWS1ST) :  නයිජීරියානු බොකෝ හරාම් ත්‍රස්ත සංවිධානයේ නායක අබුබකර් ෂෙකාවෝ මියගොස් ඇතැයි, වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, ප්‍රතිවාදී සටන්කාමී කණ්ඩායමකට (Iswap) එරෙහිව පැවති ගැටුමකින් පරාජයට පත්වීමත් සමග පුපුරණ ද්‍රව්‍යයක් පුපුරවා ගැනීමෙන් ඔහු සියදිවි හානි කරගෙන ඇති බවයි. කෙසේ වෙතත් මීට පෙර අවස්ථා කිහිපයකදීම මියගිය බවට වාර්තා පළ වූ ෂෙකාවෝගේ මරණය සම්බන්ධයෙන් බොකෝ හරාම් සංවිධානය හෝ නයිජීරියානු රජය මේ වන තෙක් තහවුරු කර නොමැත. 2009 දී බොකෝ හරාම්හි නිර්මාතෘ පොලිස් අත්අඩංගුවේදී මියයාමෙන් පසු ෂෙකාවෝ ත්‍රස්ත සංවිධානයේ නායකත්වයට පත් විය. ඔහුගේ නායකත්වය යටතේ කලාපය පුරා බෝම්බ පුපුරුවා හැරීම්, පැහැරගැනීම් ඇතුළු ත්‍රස්ත ක්‍රියා රැසක් සිදු කර ඇති අතර 30,000 කට අධික පිරිසක් ඝාතනයට ලක්ව තිබේ. මේ අතර 2014 වසරේදී බෝර්නෝ ප්‍රාන්තයේ චිබුක්හි පාසලක සිය ගණනක් දැරියන් පැහැරගෙන යාමේ සිද්ධියත් සමග බොකෝ හරාම් ත්‍රස්ත කණ්ඩායම මුළු ලෝකයේ අවධානයට ලක් විය. සටන්කාමීන් එලෙස පැහැර ගත් දැරියන්ගෙන් බොහෝ දෙනෙකු තවමත් අතුරුදන් ය. මෙම සිද්ධියත් සමග අමෙරිකා එක්සත් ජනපදය බොකෝ හරාම් නායක ෂෙකාවෝ ගෝලීය ත්‍රස්තවාදියෙකු ලෙස නම් කළේ ය.