by Staff writer 07-06-2021 | 11:55 AM
COLOMBO (News 1st) - නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මත සකසන නව අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සුබ මොහොතින් අද ආරම්භ කළේය.
ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
සමාරම්භක උත්සවය අරලියගහ මන්දිරයේ සිට සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්විය.
ඊට සමගාමීව කොළඹ හා මහනුවර නගර ආශ්‍රිතව පවතින දැඩි රථ වාහන තදබදයට පිළියම් ලෙස ගුවන් පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතිය ද ආරම්භ කළේය.
මෙම ව්‍යාපෘතිය යටතේ කොහුවල මංසන්ධිය, ගැටඹේ මංසන්ධිය, කොම්පඤ්ඤ වීදිය දුම්රිය මාර්ගය හරහා විනිසුරු අක්බාර් මාවත සහ උත්තරානන්ද මාවත ආශ්‍රිතව ගුවන් පාලම් ඉදිකිරීමට නියමිතය.
එමෙන්ම බේරේ වැව සහ කොම්පඤ්ඤ වීදිය හරහා බාලදක්ෂ මාවත සහ චිත්තම්පලම් ඒ. ගාර්ඩ්නර් මාවත සම්බන්ධ කරමින් ගුවන්පාලමක් ද ඉදිකෙරෙනු ඇති.
ඉදිකිරීමට සැලසුම් කර ඇති කිලෝමීටර් 16.4 කින් යුතු නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මත අධිවේගී මාර්ගය මංතීරු 04 කින් සමන්විතය.
ඒ සඳහා වැයවන මුදල රුපියල් බිලියන 134.9 කි.
එම මාර්ගයේ ඉදිකිරීම් චයිනා හාබර් ඉංජිනේරු සමාගම මගින් සිදු කෙරේ.
මේ අතර හංගේරියානු ජන රජයේ මූල්‍ය පහසුකම් මත ඉදිකරන කොහුවල ගුවන් පාලම මීටර් 217. 30 ක් දිගින් යුක්තයි.
ඒ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 2648 කි.
හංගේරියානු ජන රජයේ මූල්‍ය පහසුකම් මත ඉදිකෙරෙන ගැටඹේ ගුවන් පාලම මීටර් 396.70 දිගින් යුක්තය.
ඒ සඳහා වැය වන මුළු වියදම රුපියල් මිලියන 9,451 ක් වන අතර ව්‍යාපෘතිය මාස 28කින් සාදා නිම කිරීමට අපේක්ෂිතය.
විනිසුරු අක්බාර් මාවතේ ඉදිකරන ගුවන් පාලම මීටර් 207ක් දිගින් යුක්ත වේ.
උත්තරානන්ද මාවතේ ඉදිකරන ගුවන් පාලමේ දිග මීටර් 396කි.
එම ගුවන් පාලම් 02 එකිනෙක සම්බන්ධ කිරීම සඳහා ඉදිකරන ගුවන් පාලමේ දිග මීටර 310ක් වන අතර පළල මීටර 6.9කි.
මාස 12ක කාලයක් ඇතුළත මෙම ව්‍යාපෘතිය නිම කිරීමට අපේක්ෂිත අතර එහි ඉදිකිරීම් මාගා ඉංජිනේරු සමාගම විසින් සිදු කරනු ලැබේ.
කොම්පඤ්ඤ වීදිය දුම්රිය මාර්ගය සහ බේරේ වැව මතින් බාලදක්ෂ මාවත සහ චිත්තම්පලම් ඒ ගාර්ඩිනර් මාවත සම්බන්ධ කරමින් ඉදිකරන ගුවන් පාලම ද මාස 12ක කාලයක් ඇතුළත සාදා නිම කිරීමට අපේක්ෂිතය.
ඒ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 2730 කි.
එහි ඉදිකිරීම් ඇක්සස් ඉංජිනේරු සමාගම විසින් සිදු කරනු ලැබේ.