COLOMBO (NEWS1ST) : වසංගත තත්ත්වයේදී හෝ වේවා ආපදා තත්ත්වයකදී හෝ වේවා ජනතාව සමග ඒකී අභියෝගය භාර ගැනිමට රජයක් ලෙස සූදානමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද (07 )අරලියගහ මන්දිරයේ සිට Zoom තාක්ෂණය ඔස්සේ අධිවේගී මාර්ග හා ගුවන් පාලම් කිහිපයක ඉදිකිරීම්වල වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
සංචරණ සීමා පැනවීමේ දී ජනතාවට විවිධ දුෂ්කරතා ඇතිවන බව දන්නා නමුත් සෑම ජීවිතයකම වටිනාකම තේරුම් ගනිමින් රජය ගෙන යන වැඩපිළිවෙළට සහය දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහි දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.
තව ද ජනතාවට ක්‍රමවත් මාර්ග පහසුකම් ලබා දීමට රජය කටයුතු කරන්නේ අදට වඩා අනාගතයට එහි ඇති ප්‍රතිඵලය දෙස බැලීමෙන් බව ද පැවසී ය.
අද (7) ඉදිකිරීම් ආරම්භ කළ නව කැලණි පාලමේ සිට කොළඹ පිටත වටරවුම් මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරුව දක්වා කුළුණු මත දිවෙන අධිවේගී මාර්ගයට වැයවන මුදල රුපියල් බිලියන 134.9 කි.
මීටර් 16.4 ක දිගින් යුත් මාර්ගය මංතීරු 4 කින් සමන්විත වේ.
ඉදිකර, පවත්වාගෙන ගොස් පවරා දීමේ පදනමත මෙම ව්‍යපෘතිය ක්‍රියාත්මක කරන්නේ චයිනා හාබර් ඉංජිනේරු සමාගමයි.
කොහුවල මංසන්ධියේ රථවාහන තදබදයට පිළියමක් ලෙස රුපියල් මිලියන 2648 ක වියදමින් ගුවන් පාලමක් ඉදිකිරීම ද අද ආරම්භ විය.
එම ගුවන් පාලමේ දිග මීටර් 217.30 කි.
කොම්පඤ්ඤ වීදීය දුම්රිය මාර්ගය හරහා විනිසුරු අක්බාර් මාවත දක්වාත් , උත්තරානන්ද මාවතේ තවත් ගුවන් පාලමක් සහ එම ගුවන් පාලම් එක් කිරීම සඳහා තවත් ගුවන් පාලමක් ද ඉදිකිරීම අද ආරම්භවිය.
බේරේවැව කොම්පඤ්ඤ වීදිය හරහා බාලදක්ෂ මාවත හා චිත්තම්පලම් ඒ ගාඩ්නර් මාවත දක්වා දිවෙන ගුවන් පාලමද මේ ව්‍යාපෘතියට ඇතූළත් වේ.
මේ ගුවන් පාලම් මාස 12 කින් අවසන් කිරීමට නියමිතයි.
මහනුවර නගරයේ රථවාහන තදබදයට පිළියමක් ලෙස ගැටඹේ මංසන්ධියේ තවත් ගුවන් පාලමක් ඉදිකිරීම අද ආරම්භ විය.
මේ ගුවන් පාලම කොටස් දෙකකින් සමන්විතයි.
විලියම් ගොපල්ලව මාවත දිගේ දිවෙන ගුවන් පාලම සහ පේරාදෙණියේ සිට මහනුවරට දිවෙන ශාඛා ගුවන් පාලමයි.
පේරාදෙණියේ සිට මහනුවර දක්වා ගුවන් පාලම ඉදිවීමෙන් ගැටඹේ සිට බාධාවකින් තොරව සෘජුවම මහනුවර නගරය හා සම්බන්ධවීමේ අවස්ථාව උදා වේ.