නැවේ බලපෑමෙන් කොරල් පරවලට මොකද වෙන්නේ?

කැස්බෑවුන්, ඩොල්ෆින් සහ තල්මසුන්ගේ සිරුරු වෙරළට ගොඩ ගසන්නේ ගිනිගත් නැව නිසා ද?

by Staff writer 07-06-2021 | 9:54 PM

COLOMBO (News 1st) - එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මෙරට මුහුදු සීමාවට පැමිණ අදට දින 17කි.

නෞකාව මෙරට මුහුදු සීමාවේ සැතපුම් 9 ක් පමණ දුරින් මේ වනවිටත් මුහුදු බත් වෙමින් තිබේ. නාවික හමුදාව සහ ගුවන් හමුදාව තවදුරටත් නෞකාව නිරීක්ෂණය කරමින් සිටී.

? නෞකාවෙන් පරිසරයට සිදුවූ බලපෑම...

මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ ප්ලාස්ටික් කොටස් වැලි සමග ටොන් 600 ක් පමණ මේ වනවිට මෙරට බටහිර සහ දකුණු දිග වෙරළ තීරයෙන් එක් රැස්කර ඇත. එම ප්ලාස්ටික් කොටස් මේ වනවිට බහාලුම් 40 ක අසුරා ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය අප කළ විමසීමකදී කියා සිටියේ ය. නාරා ආයතනය පැවසුවේ, නෞකාව අවටින් අවස්ථා 4 කදී ලබා ගත් ජල සාම්පල සහ මෙරට වෙරළබඩ කලාපයේ ස්ථාන 17 කින් ලබා ගත් ජල සාම්පල තවදුරටත් පරීක්ෂා කරමින් සිටින බවයි. මුන්දලම, සින්නපාඩු වෙරළ තීරයට අද මියගිය කැස්බෑවෙකු ගොඩ ගසා තිබුණි. වාද්දුව, තල්පිටිය මුහුදු තීරයට විශාල ඩොල්ෆින් සත්ත්වයෙකු අද පෙරවරුවේ ගොඩ ගසා තිබු අතර අප වාර්තාකරු පැවසුවේ, එම සත්ත්වයා ඉදිරි පරීක්ෂණ සදහා වනජීවී නිලධාරීන්ට භාර දුන් බවයි. ඊයේ කැස්බෑවන් තිදෙනෙකු ගොඩ ගසා තිබු කොස්ගොඩ වෙරළ තීරයට අද පෙරවරුවේ මියගිය තල්මසෙකු ද ගොඩ ගසා තිබුණි. අප වාර්තාකරු පැවසුවේ, අඩි 2 හමාරක් පමණ දිගැති මෙම සත්ත්වයා ඉදිරි පරීක්ෂණ සඳහා හික්කඩුව වනජීවී කාර්යාලයට රැගෙන ගිය බවය. කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සම්පත් සෙනෙවිරත්න මහතා,
මේ නැවෙන් එන දුම් ගිහිල්ලා මධ්‍යය කදුකරේ කදුකර වැසි වනාන්තරවල ජීවීන්ට ඝෘජු බලපෑමක් සිදුවීමේ අවධානමක් තියෙනවා. ඒවාගේම විශේෂයෙන්ම මුහුදු ජීවීන්ට අපේ ගැඹුරු මුහුදේ සිටින පෙලාජික් කලාපයේ සිටින පක්සීන්ට. මේ අවස්ථාවේ සිටිනවා අපේ වෙරළ කලාපයේ කිලෝ මීටර් කීපයක් ඈතින්. ලෝකයේ සිටින සමුද්‍රික කැස්බෑ විශේෂ 7 න් 5 ක්ම මේ කලාපයෙන් හමුවෙනවා.
කොරල් පද්ධතියට සිදුවිය හැකි බලපෑම පිළිබඳව ද ආචාර්ය සම්පත් සෙනෙවිරත්න මහතා අදහස් දැක්විය.
කොරල් පර අපිට දක්නට ලැබෙනවා කල්පිටියට උතුරින් ඒවාගේම බටහිර දකුණ වෙරළ තීරය පුරාම. එතකොට මේ පරිසර පද්ධතීන් සියල්ලටම මේකේ තියෙන මේ ප්ලාස්ටික් එහෙම නැත්තම් කුඩා න්ර්ඩල්ස් කුඩා වර්ජින් ප්ලාස්ටික්ස් ගිහිල්ලා බලපෑම් ඇති කරන්න පුළුවන් දිගුකාලීනව. සතුන් වරදවා වටහා ගන්නවා කෑම විදියට. මොකද ඒවා හිරයට තෙල් බිදුවාගේ එහෙම නැත්තම් ඒවා හරියට මාලුන්ගේ ඇස් වාගේ. ඒක හින්දා මේවා අපේ සමුද්‍රික ආහාර ජාලවලට එකතු වීමේ දැඩි තර්ඡනයක් තියෙනවා.