ශ්‍රී ලංකා ආයෝජන සමුළුව ඇමතූ ජනපති (VIDEO)

''උපරිම සහන සහ වරප්‍රසාද ලබාගෙන පෝට් සිටියේ ආයෝජනය කරන්න...'' - ජනපති

by Staff writer 07-06-2021 | 9:34 PM

COLOMBO (NEWS1ST) :  2021 ශ්‍රී ලංකා ආයෝජන සමුළුවට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (7) ශ්‍රී ලංකාවේ ඉදිරි ආයෝජන සැලසුම් ලෝක ප්‍රජාවට ඉදිරිපත් කළේ ය.

රටවල් 65 ක් මෙම සමුළුවට සම්බන්ධවූයේ අන්තර්ජාල තාක්ෂණය ඔස්සේයි. සමුළුව අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ, 2030 වන විට ඒක පුද්ගල දළ දේශිය නිෂ්පාදනය ඩොලර් 8000 ක් දක්වා වර්ධනය කිරීමට අවශ්‍ය වේගවත් ආර්ථික පරිවර්තන සැලැස්මක් පවතින බවයි. ඒ සඳහා ස්ථාවර සාර්ව ආර්ථික පරිසරයකට අවශ්‍ය ප්‍රතිපත්ති, ස්ථායිතාව හා අනුකූලතාව පවත්වා ගැනීමට දැඩිව කැප වී සිටින බව ද ජනාධිපතිවරයා එහිදි පැවසී ය. කොළඹ වරාය නගරය ලෝකයේ වේගයෙන් වර්ධනය වන කලාපයකට අවශ්‍ය සේවා මධ්‍යස්ථානයක් බවට පත්කිරීම අරමුණ බව ද එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ ය. තව ද සිය රජය පුනර්ජනනීය බලශක්ති දිරිගැන්වීමටත් කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, 2030 වන විට ජාතික බලශක්ති අවශ්‍යතාවයෙන් 70% ක් පුණර්ජනීය බලශක්තිය සඳහා යොමු වීමට කැපවී සිටින බවයි.