කැලණි ගඟ අවට ජනතාවට ජනතාවට දැනුම්දීමක්..

EXTREME WEATHER : කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යයි.. ජනතාවට දැඩි අවධානයෙන් පසුවන්නැයි, උපදෙස්

by Sagarika Chathumali 05-06-2021 | 1:34 PM

COLOMBO (NEWS1ST) : කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල දැනට පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටී.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ, කැලණි ගං ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය 24 මි.මී. 125කට අධික වැසි ඇඳ හැලීම හේතුවෙන් කැලණි ගංගාවේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවයි. ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල , සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල දැනට පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී. සුගීශ්වර මහතා පැවසුවේ, ඉදිරි පැය 18ක කාල සීමාව තුළ දැනට හංවැල්ල ජල මාපකයේ ඇති මීටර් 8.3ක් වූ ජල මට්ටම මීටර 9 ඉක්මවා යා හැකි බවයි. තව ද නාගලගම්වීදියේ ජල මාපකයේ අඩි 6.5ක් වූ ජල මට්ටම අඩි 6. 6 ඉක්මවා යා හැකි බවට ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇතැයි, වාරිමාර්ග අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය. ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කැලණි ගංගාව අවට ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ඉදිරි 24 න් පසුවන තුරුත් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසු වන ලෙසයි. කෙසේ වෙතත් කැලණි ගංගාව මහ ගංවතුර තත්ත්වයක් බවට පත්වීමේ අවදානමක් නොමැති බව වාරිමාර්ග අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.