COLOMBO (NEWS1ST) : මානව සෞඛ්‍ය සුරැකීම සඳහා ලොව පුරා රාජ්‍යයන් නිර්භීත ප්‍රතිපත්ති අනුගමනය කිරීමට පසුබට නොවිය යුතු බව ත් එවැනි ප්‍රතිපත්ති පාරිසරික සංරක්ෂණයට සහය විය යුතු බව ත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
එමෙන්ම ජෛව විවිධත්වය විනාශවීම වැළැක්වීමට සහ වඩාත් තිරසර ආර්ථික අභිලාසයන් සාක්ෂාත් කරගැනීමට ජනතාවට සහයක් විය යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
ඊයේ (04) පස්වරුවේ ඉතාලියේ රෝම නගරයේ පැවති ලෝක ආහාර සුරක්ෂිතතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ 48 වන සමුළුවේ කෘෂි පරිසර විද්‍යාව පිළිබඳ සැසිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර තිබේ.
රසායනික පොහොර භාවිතයෙන් සම්පූර්ණයෙන් ඉවත් වීමට ගත් තීරණය කෙරෙහි ලෝක ආහාර සෞඛ්‍ය සංවිධානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ප්‍රසාදය පළ කරමින්, ඊට ගෞරව දැක්වීමක් ලෙස වාර්ෂිකව පැවැත්වෙන සිය සමුළුවේ පළමු සහ විශේෂ දේශනය සිදු කිරීම සඳහා ඇරයුම් කර තිබිණ.
දේශගුණික විපර්යාස, මානව වර්ගයා මුහුණ දෙන බරපතළ ගැටලුවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එහි බලපෑම අවම කිරීමට සියලු රටවල් සාමූහිකව ක්‍රියා කළ යුතු බව එම දේශනයේදී අවධාරණය කර ඇත.
කෘත්‍රිම පොහොර හා කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීමට තම රජය ගත් තීරණයෙන් සෞඛ්‍ය සම්පන්න සහ වඩාත් පරිසර හිතකාමී කෘෂිකර්මාන්ත පද්ධතියක් සඳහා සංක්‍රමණය වීමට තිබූ දිගු කාලීන අවශ්‍යතාව සපුරා ගැනීමට හැකිවනු ඇතැයි, ජනාධිපතිවරයා පවසා තිබේ.
කෘතිම පොහොර හා කෘෂි රසායන ආනයනය තහනම් කිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණය හරිත ආර්ථිකයකට හා සෞඛ්‍ය සම්පන්න ජන සමාජයකට ඉවහල් වන අතර දිගුකාලීන ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අභිලාසයන්ට සහය දෙනු ඇතැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ මෙම මුල්පිරීම අනිකුත් රාජ්‍යයන්ගේ සහ එම ජාතීන්ගේ පොදු යහපත පිණිස සමාන නිර්භීත ක්‍රියාමාර්ග ගැනීමට පොළඹවනු ඇතැයි, ජනාධිපතිවරයා වැඩිදුරටත් විශ්වාසය පළ කර ඇත.
''මේ අවුරුද්දේ අප්‍රේල්වල රජය රසායනික පොහොර ගෙන්වීම නතර කළා. අපි මේ තීරණය ගත්තේ පාරිසරික ප්‍රශ්න සහ මිනිස්සුන්ගේ සෞඛ්‍ය සම්බන්ධව තියෙන ප්‍රශ්න නිසා. මිනිස්සු අතර බෝනොවන රෝගවලට මේක හේතුවෙලා තියෙනවා. ඒ වගේම නිධන්ගත රෝගවලටත් මේක හේතුවෙලා තියෙනවා. රසායනික පොහොර ආනයනය නවත්වාලීමට මගේ රජය විසින් ගත් තීරණය සෞඛ්‍ය ආරක්ෂක සහ පාරිසරික හොඳ කාබනික කෘෂිකර්මයකට මේක මුලපුරයි. අපි දන්නවා මේ සම්බන්ධව ප්‍රශ්න ඇති වෙන බව, මේවාට දේශීය ලෙස නිෂ්පාදනයේදී ඇතිවන සීමාවන් නිසා ඝණාත්මක මහජන මතයක් ඇතිවීමට ඊට තිබෙනවා. ඉතින් නායකයින් හැටියට අපේ වගකීම වන්නේ කුමන අභියෝග ආවත් තීරණාත්මක පියවර ගන්න ඕනේ. මේ වගේ අත්‍යවශ්‍ය ක්‍රියාවන් සම්බන්ධ තීරණ ගන්න පැකිලුනොත් අපි හැම තිස්සේ කථාවට පමණක් සීමා වෙනවා. අපේ රජය ගොවින්ට සහ කෘෂීකර්මය මුල්‍ය කරගත් කර්මාන්තවලට මේ ක්‍රියාවලිය තුළ උදව් කිරීමට බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර ප්‍රජාවෙන් මේ සම්බන්ධයෙන් අපිට ලබාදෙන උපකාර අගය කරනවා..''
- ජනපති -