ආපදාවකදී සෞඛ්‍යාරක්ෂිතව ක්‍රියා කරන්නේ කෙසේ ද?

අයහපත් කාලගුණය සහ කෝවිඩ් හමුවේ සෞඛ්‍යාරක්ෂිතව ක්‍රියා කරන්නේ කෙසේ ද?

by Staff writer 05-06-2021 | 9:15 PM

COLOMBO (NEWS1ST) :  පවතින කාලගුණ තත්ත්වය හා කෝවිඩ් තත්ත්වය හමුවේ අදාළ ප්‍රදේශවල ජනතාව ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අදහස් පළ කළේ ය.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසන්නේ, ආපදාවට ලක්වන පිරිස් හදිසියේ ම නිවෙස්වලින් ඉවත් කිරීමට සිදු වුවහොත් දුරස්ථභාවය අඩපණ කරමින් මුදා ගැනීමේ ක්‍රියාවල නිරත වන්නට සිදු වන බවයි. එවැනි අවස්ථාවකදී සිදුවන හානිය අවම කර ගැනීමට ඇති විසඳුම කල් ඇතුව ආරක්ෂිත ස්ථානවලට පිටත්ව යාම බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසී ය.
''ඒ වගේම ආරක්ෂිත ස්ථානවලට පුද්ගලයන් ඇතුළත් කර ගන්න කලින් අපි යම් අකාරයකට තියෙන රෝග තත්ත්වයන් ආදිය පිළිබඳව අපි යම් අකාරයකට හඳුනා ගැනිමක් අපි මුල් අවස්ථාවෙදිම කරන්න උත්සාහා කරනවා. මේ තත්ත්වයත් එක්ක මම හිතනවා. මේ වැහි සමය එක්ක සිදු විය හැකි කොවිඩ් රෝග පාලනය හා කොවිඩ් රෝගය සම්බන්ධයෙන් ඇති විය හැකි සංකුලතා අවම කර ගනිමින් අපිට මේ කටයුත්ත කරගෙන යන්න පුළුවන් වෙයි''