by Staff writer 04-06-2021 | 8:51 PM
COLOMBO (NEWS1ST) : පසුගිය දෙවන දා දුරකථනයෙන් අමාත්‍ය සරත් වීරසේකර මහතා අමතා පියුමි හංසමාලි නැමත්තියක් තමන් ඇඳ සිටි ඇඳුමින් නිරෝධායනය සඳහා බදුල්ලට රැගන යන බවත් අමතර ඇඳුම් ආදිය රැගෙනයාමට අවස්ථාව ලබාදෙන ලෙසත් ඉල්ලා සිටි බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය අද (04) නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියේ ය.
එහි සඳහන් වුණේ, පසුව චන්දිමාල් ජයසිංහ නමැත්තා ද අමාත්‍යවරයාට දුරකතන ඇමතුමක් ගෙන එම ඉල්ලම සනාථකර ඇති බවයි.
අනතුරුව සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයා සහ බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත දැනුම්දීමෙන් පසුව පිරිස රැගත් බස් රථය තලංගම පොලීසියට රැගෙන ගොස් පිරිස බස්රථය තුළ සිටියදීම නිවෙස්වලින් ඇඳුම් හා අවශ්‍ය සුබසාධක ද්‍රව්‍ය ගෙනත්දීමට අවස්ථාව සලසා දුන් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ.
එහි දැක්වෙන්නේ පසුව පිරිස පස්සර නිරෝධායන මධ්‍යස්ථානය වෙත පිටත්කර යවා ඇති බවයි.
මහජනතාව කළ ඉල්ලීමක් සානුකම්පිතව සලකා බලා උපදෙස් දීමක් සිදුවූවා මිස වෙනත් උපදෙසක් මෙහිදී අමාත්‍යවරයා විසින් ලබාදී නොමැති බව ද මහජන ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කරයි.
මේ අතර නිරෝධායන නීති කඩකරමින් කොළඹ තරුපහේ හෝටලයක පැවැත්වූ බව කියන සාදය සම්බන්ධයෙන් තවත් සත් දෙනෙකු රුපියල් ලක්ෂය බැගින්වූ පුද්ගලික ඇප මත මුදාහැරීමට, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වී.ප්‍රභාකරන් මහතා අද (04) නියෝග කළේ ය.
https://www.youtube.com/watch?v=bE-DkETs5Bs