නැව් සමාගමට අනුව ගින්න ඇති වුණේ කවදා ද? කොහොම ද?

by Staff writer 04-06-2021 | 9:55 PM

COLOMBO (News 1st) - ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නැවේ කාර්යය මණ්ඩලය බහලුමක ඇති නයිට්‍රික් ඇසිඩ් කාන්දුව පිළිබඳව සති 03කට පෙර දැනුවත්ව සිටි බව චැනල් නිවුස් ඒෂියා වාර්තා කර ති⁣බේ.

කටාර් සහ ඉන්දියානු බලධාරීන් විසින් බහලුම ගොඩබෑමට අවසර නොදීමෙන් පසුව ගින්න ඇති වූ බව එක්ස්ප්‍රස් ෆීඩර්ස් සමාගමේ විධායක නිලධාරීවරයා චැනල් නිවුස් ඒෂියා සමග අදහස් දක්වමින් පෙන්වා දී තිබේ. ඔහු පවසන ආකාරයට ප්‍රශ්නගත බහලුම නැව්ගතකර ඇත්තේ, මැයි මස 10 වැනි දා ඩුබායිහි, ජබෙල් අලි වරායෙනි. කටාර්හි හමාඩ් වරාය ආසන්නයට එනවිට බහාලුමේ ඇසිඩ් කාන්දුවක් ඇතැයි හඳුනාගෙන ඇති අතර එය ගොඩබෑමට එම වරායෙන් අවසර ඉල්ලා තිබේ. ප්‍රධාන විධායක නිලධාරී ෂ්මුවෙල් යෝෂ්කොවිට්ස් මහතා පවසා ඇත්තේ, එම වරායේ බලධාරීන් තමන්ට ශ්‍රමය හා උපකරණ නොමැති බව දන්වා බහලුම ගොඩබෑමට අවසර නොදුන් බවයි. අනතුරුව නෞකාව ඉන්දියාවේ හසීරා වරායට යාත්‍රා කළ බවත් එහිදීත් බහලුම ගොඩබෑමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වූ බවත් ඔහු කියා සිටියේ ය. එක්ස්ප්‍රස් ෆීඩර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා පවසන්නේ, 19 වැනි දා වනවිට ශ්‍රී ලංකා මුහුදට ළඟා වූ නැවේ පසුදා උදෑසන දුමක් නැගුන බවයි. ඒ දක්වා කාලය තුළ බහලුමෙන් කාන්දුවීමක් පමණක් සිදු වූ බවත් කාර්යය මණ්ඩලය එය පාලනය කළ බවත් ඔහු සඳහන් කර ඇත.