ගිලෙමින් ඇති නැව සම්බන්ධයෙන් මොක ද වෙන්නේ?

ගිනිගෙන ගිලෙමින් ඇති නැව සම්බන්ධයෙන් මොක ද වෙන්නේ?

by Staff writer 04-06-2021 | 10:31 PM

COLOMBO (NEWS1ST) :  එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමෙන් වූ හානිය පූර්ණය කිරීම සඳහා වන්දි ලබා ගැනීම වෙනුවෙන් සිංගප්පුරු රජය සමග ත් සාකච්ඡා කර අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

''වන්දිය ලබාගැනීමේ කටයුත්ත මේ රටේ නීතියට ජාත්‍යන්තර නීතියත් එක්ක ගැලපෙන විදියට අපි ක්‍රියාත්මක වෙනවා. මේකෙන් අපි මේ වන්දිය ලබාගැනීම රජයක් හැටියට ඒ වගේම සිංගප්පුරු රජය එක්කත් සාකච්ඡා කරලා අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරනවා. අනාගතය ගැන හිතන්න කෝ සතියකට නෙවෙයි මත්ස්‍ය සම්පත නෙළා ගන්න බැරිවුණොත් අවුරුද්දකට අපි ඒ වෙනුවෙන් තමයි ගණන් මිනුම් හදන්නේ ඒකට තමයි ආයතනවලට වගකීම් පවරන්නේ''
මෙහිදී සිය මුහුදු කලාපයට හානි වීම සම්බන්ධයෙන් ඉන්දියාව කනස්සල්ල ප්‍රකාශ කර තිබීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ ඒ සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, නාවික හමුදාපතිවරයා ඊයේ ඉන්දීය නාවික හමුදාපතිවරයා සමග සාකච්ඡා කර ඇති බවයි.
''ඊයේ දවස වෙනකොට නාවික හමුදාපතිතුමත් ඉන්දියාවේ නාවික හමුදාපතිතුමත් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ සාකච්ඡාවේදී බලන්නේ අපේ මේ ඉන්දියන් සාගරයේ සමුද්‍ර දුෂණය වෙලා තියෙනවා නම් සියල්ලම අපි ඒකාබද්ධව තමයි මේ වැඩපිලිවෙලට එකතු වෙන්නේ'
මේ අතර ජනතා විමුක්ති පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසන්නේ, වන්දි ගැනීම සම්බන්ධයෙන් කළ ඇතැම් ප්‍රකාශ අහම්බෙන් සිදු කළ ඒනා නොවන බවත් එකී ප්‍රකාශ තුළ දේශපාලන ගනුදෙනු ගැබ්ව ඇතිබවත් ය.
''රාජ්‍ය ඇමතිතුමා කියනවා නාලක ගොඩහේවා ඇමතිතුමා කියනවා මේකෙ අපි හිතන තරම් වන්දියක් ලැබෙන එකක් නැහැ. එතකොට ඔය දැන් රක්ෂණ කරන කට්ටිය අධිකරන නඩු කියන කට්ටිය මේ රාජ්‍ය ඇමතිතුමාගෙ ප්‍රකාශය පාවිච්චි කරන එකක් නැද්ද? වාසුදේව නානායක්කාර මහත්තයා කියන වන්දි කතාවයි රාජ්‍ය ඇමතිතුමා කියනකොට අපිට මේකට වන්දියක් ගන්න බැහැ කියන කතා මේවා හිතලු කතා නෙවෙයි අහම්බ කතා නෙවෙයි ඒවා ඇතුළෙ තියෙනවා දේශපාලනය.ඒව ඇතුළේ තියෙනවා ගනුදෙනු''