by Staff writer 03-06-2021 | 9:47 PM
COLOMBO (News 1st) - සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම අත්හිටුවීමට ඉකුත් 24 වැනි දා රැස්වන අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ, සුඛෝපභෝගී ජීප් රථ ඇතුළු වාහන 399ක් ගෙන්වීමට ඉදිරිපත් වූ අමාත්‍ය මණ්ඩල සංදේශය සැලකිල්ලට ගනිමිනුයි.
එහෙත් අදාළ වාහන 399 රටට ළඟාවීම වැළැක්විය නොහැක්කකි.
රටේ පවතින මූල්‍ය ස්ථාවරය පිළිබඳව අවධානය යොමු කරමින් අදාළ වාහන ගෙන්විම තවදුරටත් සීමා කළ යුතුව ඇතැයි ඉකුත් 24 වැනි දා අමාත්‍ය මණ්ඩලය රැස් වූ අවස්ථාවේ අමාත්‍යවරුන් පෙන්වා දුන්බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ ය.
එවැනි පෙන්වා දීමකට නිමිත්ත නිර්මාණය කලේත් අමාත්‍ය මණ්ඩලයමයි.
එනම් අමාත්‍ය මණ්ඩලය ඉකුත් අප්‍රේල් මාසයේදී වාහන තොගයක් ආනයනය කිරීමට තීරණය කළේ, රජයේ සංවර්ධන වැඩපිළිවෙළ කාර්යක්ෂම කිරීම සඳහා මෙම වාහන අවශ්‍ය බවට අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුවයි.
ගිලන් රථ, ජල බවුසර් හා ඩබල් කැබ් රථ 50 බැගින් වාහන 150 ක් ගෙන්විය යුතු බවට නිශ්චිතවම එහි තොරතුරු සඳහන් ය.
තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදීමේ ක්‍රමය තාවකාලිකව නතර කිරීම මන්ත්‍රීවරුන්ට ද බලපා ඇති බැවින් එම බලපෑම ඉවත් කෙරෙන විකල්ප ක්‍රමයක් පිළිබඳව ද එහි යෝජනා විය.
ඒ අනුව ලංකා බැංකුවෙන් සපයන රු. බිලියන 3.7 ක කල්බදු පහසුකම යටතේ වාහන 399ක් ආනයනය කිරීමට ඇනවුම් භාර දෙනන්නේ එම ගැටලුව ද විසඳීම සඳහායි.
අදාළ වාහන 399 ආනයනය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය මැයි මස 24 වැනි දා තීරණය කළ ද ලංකා බැංකුව රජය වෙනුවෙන් එම වාහන 399 සඳහා මේ ණයවර ලිපි 07 විවෘත කර ඇත්තේ අප්‍රේල් මස 29 වැනි දායි.
ලංකා බැංකුව මෙතෙක් එම ණයවර ලිපි අත්හිටුවා හෝ අවංලගු කර නැත.
ණයවර ලිපිවල ඉල්ලුම්කරු ලංකා බැංකුව බව මෙහි පැහැදිලිව සඳහන් වී තිබේ.
එනම් මෙය ලංකා බැංකුවේ ව්‍යාපාර කටයුත්තකි.
ඉකුත් අප්‍රේල් මාසයේදී වාහන ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීම තහනම් කරමින් මහ බැංකුව වාණිජ බැංකුවලට පැන වූ නියෝගය අදටත් වලංගු බැවින් මෙම ණයවර ලිපි නිකුත් කිරීමට අදාළව ආනයන අපනයන පාලන පනත යටතේ ලංකා බැංකුවට දඩයක් පැනවිය හැකියි.
එමෙන්ම ප්‍රශ්නගත වාහන 399ට අදාළව තීරු ගාස්තු ගෙවීමට ද මහ බැංකුට සිදුවේ.
මන්ද ලංකා බැංකුව යනු රජය විසින් ප්‍රකාශයට පත්කර ඇති තීරු බදුවලින් නිදහස් කෙරුණු ආයතනයක් නොවන බැවිනි.
එබැවින් ලංකා බැංකුව අදාළ තීරු ගාස්තුව නොගෙවුවහොත් එය රජයට ගෙවිය යුතු බද්දක් පහැර හැරීමයි.