ලංකාව ඇතුළු ආසියාවට අමෙරිකාවෙන් එන්නත් මි.07ක්

ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල් සඳහා අමෙරිකාවෙන් එන්නත් මිලියන 07ක්

by Staff writer 03-06-2021 | 11:26 PM

COLOMBO (News 1st): ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවලට, කොරෝනා මර්දන එන්නත් මාත්‍රා මිලියන 07 ක් පරිත්‍යාග කිරීමට අමෙරිකාව සැලසුම් කර තිබේ.

ඒ, ලොවපුරා එන්නත් මිලියන 80 ක් පරිත්‍යාග කිරීමේ වැඩසටහන යටතේය. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ තීරණයකට අනුව එම වැඩසටහන ක්‍රියාත්මක වේ. ඒ අනුව ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, පාකිස්ථානය, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය, මාලදිවයින, මැලේසියාව, පිලීපීනය, වියට්නාමය, ඉන්දුනීසියාව, තායිලන්තය, ලාඕසය, පැපුවා නිව්ගිනියාව, තායිවානය සහ පැසිෆික් දූපත් සදහා එන්නත් මිලියන 07 බෙදා හැරෙනු ඇති. අමෙරිකාව මේ වනවිට කැනඩාව සහ මෙක්සිකෝවට, එන්නත් මාත්‍රා මිලියන 4ක් බෙදා හැර අවසන්ය. මේ මාසය අවසන් වනවිට ලොවපුරා කොරෝනා මර්දන එන්නත් මාත්‍රා මිලියන 80 බෙදාහැරීම අමෙරිකානු ජනාධිපතිවරයාගේ අරමුණ වී තිබේ. මෙම වැඩසටහන යටතේ අප්‍රිකාවට ද එන්නත් මාත්‍රා මිලියන 5 ක් බෙදා හැරෙනු ඇති. ධවල මන්දිරය ප්‍රකාශ කළේ, අමෙරිකාව තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද කොරෝනා වෛරසය තුරන් කළ යුතු යැයි, අමෙරිකානු ජනාධිපතිවරයා දැඩි ස්ථාවරයක සිටින බවය. ලොවපුරා රටවල් සඳහා එන්නත් බෙදා හැරීමේ ක්‍රියාවලිය වන කෝවැක්ස් පහසුකම සඳහා අමෙරිකාව මේ වන විටත් ඩොලර් බිලියන 4 ක මුදලක් යොදවා තිබේ. ඊට අමතරව ලොවපුරා එන්නත් බෙදාහැරීම සහ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ අරමුණයි.