රුපියල් 5,000 දීමනාව ලැබෙන්නේ කාටද?

රුපියල් 5,000 දීමනාව ලැබෙන්නේ කාටද?

by Staff writer 02-06-2021 | 10:05 PM

COLOMBO (News 1st) - රජය රුපියල් 5000 දීමනාව නැවත වටයක් ලබාදීම අද ආරම්භ කර තිබේ.

සංචරණ සීමා පැනවීම හේතුවන් පීඩාවට පත් ජනතාවට ප්‍රදේශ කිහිපයකදී අද දිනයේ දීමනාව ලබාදී තිබුණි.

? දීමනාව ලැබෙන්නේ කාට ද?

අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ ඇති උපදෙස් අනුව 5000 දීමනාව ලබාදෙන්නේ මේ අයුරිනි. රජයෙන් ගෙවන වැඩිහිටි දීමනාව, ගොවි විශ්‍රාම වැටුප්, ධීවර විශ්‍රාම වැටුප් හා සමෘද්ධි සහනාධාර දීමනාව ලබන පිරිසට රුපියල් 5000 ක් වන සේ ඉතිරි මුදල් ප්‍රමාණය ගෙවනු ලැබේ. අදළ දීමනා කිහිපයක් යම් පවුලකට හිමි වේ නම් රුපියල් 5000 දීමනාව ගෙවීමේදී පදනම් වන්නේ උපරිම මුල්‍යමය අගය සහිත දීමනාවයි. සානුකම්පිත දීමනාව හිමි වන පවුල්වලට මොකද වෙන්නේ ? මධ්‍යම රජයෙන් ගෙවනු ලබන අනෙකුත් දීමනා නොලැබී සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව හෝ ආබාධිත දීමනාව හෝ වකුගඩු දීමනාව අතරින් එක් දීමනාවක් පමණක් ලැබෙන විට ඔවුන්ට රුපියල් 3000 ක සානුකම්පිත දීමනාවක් ලබාගත හැකියි.

? රුපියල් 5000 දීමනාව සම්පූර්ණයෙන් හිමි වන පවුල් මොනවා ද?

සමෘද්ධි සහනාධාරය ලැබීමට සුදුකම් සහිතව ලේඛනගත කර ඇති අඩු ආදායම්ලාභී පවුල්. ජීවනෝපාය අහිමි වීම මත තෝරා ගෙන ඇති පවුල්. මුල් අවස්ථාවේ දී ග්‍රාමීය කමිටුවේ නිර්දේශ මත හෝ අදාළ මහලේකම් කාර්යාලවල පොරොත්තු ලේඛනවල වැඩිහිටි, ආබාධිත හා වකුගඩු දීමනා ලැබීමට සුදුසුකම් සහිතව ලේඛනගත කර ඇති පවුල්. අභියාචනාවලින් තෝරාගෙන ඇති පවුල්. රජයෙන් කිසිදු ආදායමක් නොලබන හා නොමිලේ සේවා සපයන ආගමික ස්ථාන, වැඩිහිටි නිවාස, ළමා නිවාස හා අබාධිත නිවාස වැනි සුභසාධක ස්ථානවල නේවාසිකයින් සිව් දෙනෙකු එක් පවුලක් සේ සලකා ග්‍රාමීය කමිටුවේ නිර්දේශ මත තෝරාගනු බලන ප්‍රතිලාභී ඒකක. ග්‍රාමීය කමිටුවේ නිර්දේශ මත තෝරාගත් පවුල්. අදාළ වර්ගීකරණයන්ට යටත්ව අද දිවයින් ප්‍රදේශ කිහිපයක රුපියල් 5000 දීමනාව බෙදා දීම සිදු විය. නමුත් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ චක්‍රලේකය හෝ දීමනාව බෙදාදෙන වර්ගීකරණයන් සම්බන්ධයෙන් බොහෝ පිරිස් ඒ වනවිට දැනුවත්ව සිටියේ නැත. හැටන් සමෘද්ධි කාර්යාලයට අද උදෑසනම රුපියල් 5000 දීමනාව ලබා ගැනීමට පැමිණි පිරිස් නැවත හරවා යැවුනේ අදාළ දීමනාව නිවෙස්වලට ගෙනැවිත් ලබා දීමට කටයුතු කරන බව පවසමිනි. නාරාහේන්පිට ග්‍රාමසේවා වසමේ සියලුම සමෘද්ධිලාභින් සඳහා ද අද රුපියල් 5000 දීමනාව හිමි විය.