නැවේ සමාගමට එරෙහිව නඩු මගට යන්න ධීවරයින් වෙනුවෙන් නායකත්වය ගන්න මම සූදානම් - කාදිනල් හිමිපාණන්

by Staff writer 02-06-2021 | 9:52 PM

COLOMBO (News 1st) - නැවේ සමාගමට එරෙහිව නඩු මගට යන්න ධීවරයින් වෙනුවෙන් නායකත්වය ගන්න තමා සූදානම් බව කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

කාදිනල් හිමියන් වැඩිදුරටත් පැවසුවේ, දැන් මුහුදු වෙරළ ඔක්කොම විනාශ කරලා මත්ස්‍ය සම්පත විනාශ වුණාට පස්සේ ආණ්ඩුව සුදු ළූණු පොඩි කරන්න එන බවයි. කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,
දැන් අපේ ධීවර ජනතාවට විශාල හානියක් වෙලා තියෙනවා මේ නැවෙන්. දැන් මුහුදු වෙරළ ඔක්කොම විනාශ කරලා මත්ස්‍ය සම්පත ඔක්කොම විනාශ වුණාට පස්සේ දැන් සුදු ළූණු පොඩි කරන්න එනවා මේගොල්ලෝ. දැන් ඒකට හේතු දාන්න එනවා. මේ නැව ගිලුනොත් නැවේ තියෙන තෙල් සේරම කාන්දු වෙලා මුළු මුහුදු වෙරළයි රස්සාවයි ඔක්කොම නැතිව යනවා අපේ ධීවර ජනතාවට. ධීවර සංවිධානවලින් ඉල්ලා සිටිනවා කරුණාකරලා ඔක්කොමලා එකතු වෙලා මේ කොම්පැණියට විරුද්ධව නඩු මාර්ගයට බසින්න කටයුතු කරන්න. ඒ පිළිබඳව නායකත්වය දෙන්න මම බලාපොරොත්තු වනවා ඉදිරියේදි. අපිට ඔය සුරපුරවල් වලින් වැඩක් නැහැ. මිනිස්සුන්ට අද පොහොර ටික නැහැ. මිනිස්සුන්ට අද කන්න දෙයක් නැහැ. මිනිස්සුන්ට අද මාසික ආදායමක් නැහැ. අපිට විදේශිය රටවලින් ඉන්ජෙක්ෂන් එකක් ඒ කියන්නේ මේ කෝවිඩ් එකට විරුද්ධව එන්නතක් ගෙන්වා ගැනීමට තරම්වත් ඒ තරම්වත් සල්ලි නැහැ.ඒ නිසා අපි හිඟා කන තත්ත්වයට වැටිලා. මේක සාපයක්ද කියලා හිතෙනවා සමහර වේලාවට.

නැවේ ගින්න කුමන්ත්‍රණයක් ද?

කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා,
අපිට තේරුම් යන දේ තමයි මේක පිටිපස්සේ කුමණ්ත්‍රණයක් තියෙනවද කියලා? දැන් අපි දන්නවා පෝට් සිටි එක වික්කා. දැන් ඊට පස්සේ කොළඹ නගරයේ තියෙන සුවිශේෂි ආර්ථික වශයෙන් ඒ වගේම සංස්කෘතික වශයෙන් ඉතාමත් වැදගත් ගොඩනැගිලි දැන් සමාගමක් පිහිටුවා ඒ සමාගම හරහා බදු දෙන්නට යනවා විදේශයන්ට. අනිත් දේ එහෙම නම් විශේෂයෙන්ම කොළඹ සිට පුත්තලම දක්වාත් ඒ වගේම අනිත් පැත්තෙන් හික්කඩුව දක්වාත් තියෙන වෙරළත් එහෙම වෙන්න බැරි කමක් නැහැ. මොකද හේතුව අපි දැක්කා මුතුරාජවෙලට තාමත් වෙමින් පවතින දේ. මේ වෙරළ පද්ධතිය සම්පුර්ණයෙන්ම විදේශිකයන්ට බදු දුන්නොත් ඒ වගේම සංචාරක කර්මාන්තය සඳහා සහ අනෙකුත් වාණිජමය කටයුතු සඳහා විතරක් වෙන් කරගත්තොත් එහෙම ධීවර කර්මාන්තයට අපේ අසරණ ධීවරයන්ට අත්වන ඉරණම ගැන අපි ඉතාමත් කරදරයෙන් පසුවනවා. මොකද අපිට තේරෙන හැටියට මේ මුහුද /සාගරය මේ වගේ පරිසර හානිවලින් විනාශ කරලා ඊට පස්සේ මත්ස්‍ය සම්පත මේ වෙරළ තීරයෙන් අයින් කරොත්, දැන් අපි දන්නවා කඩොලාන විනාශ වෙන්න පුළුවන්. එතකොට මත්ස්‍යයන් බෝ විමේ පද්ධතිය විනාශ වෙන්න පුළුවන්. එතකොට මේක පිටිපස්සේ තියෙන්නේ එහෙම අදහසක්ද? මේ කියන ප්‍රශ්නය අපිට එනවා.
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,
දැන් අද මේ රට ආරක්ෂා කරනවා කියලා භාරගත්ත කණ්ඩායම, එය විනාශ කරන මාවතකට මේ රට ඇද දමමින් පවතින බව ප්‍රකාශ කරන්නට සිදු වීම ඇත්තෙන්ම වේදනාකාරී අත්දැකීමක්. අපේ හිත් තුළ ගොඩනැගි තිබුණු ලොකු බලාපොරොත්තු සියල්ලම සුනු විසුණු වී ගිය වතාවරණයක්..  මේ රට කොහාටද යන්නේ? කවුද මේක පාලනය කරන්නේ? කවුද මේකේ තීරණ ගන්නේ? කියන තත්ත්වය පිළිබඳ ඉතාමත් අවිනිශ්චිත පරිසරයක් ඇති වෙලා තියෙන රටක් බවට පත් වෙමින් පවතිනවා. කරුණාකරලා මේ ගමන නවත්තන්න මේ විදියට යන එක. දියුණුව කියලා කියන්නේ තියෙන සම්පත් සේරම විකුණා දැමීම නෙවෙයි. තියෙන සම්පත් විකුණා දැමීම පහසු වෙන්න පුළුවන්. නමුත් ආත්ම ගෞරවය කියලා එකක් තියෙනවා. අපේ ආත්ම විශ්වාසය කියලා එකක් තියෙනවා රටක් හැටියට. එය ආරක්ෂා කරගැනීම දේශපාලන ලෝකයේ සියලු දොනගේම වගකීමක්. ඉස්සෙල්ලා එම්.සි.සි ගිවිසුම පිළිබඳ අපි විරෝධය පළ කරපු වේලාවේ ඒකට ලොකුවට බැදුණු මේ රජයේ දේශපාලනඥයෝ අද ඒකේම ඒ තත්ත්වේම වගේ දෙයක් ඊටත් වඩා දරණු විදියට කරමින් සිටින බව පේනවා.
https://www.youtube.com/watch?v=N9s1e54gF-k