D.S සේනානායක විද්‍යාලය ආශ්‍රිත ඉඩම් කොටසක් පවරා ගනිමින් කරන්න ගිය ව්‍යාපෘතිය නතර කෙරේ

by Chathuranga Rajapaksha 01-06-2021 | 2:24 PM

COLOMBO (News 1st): කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ඉඩම් කොටසක් අත්පත් කර ගෙන ක්‍රියාත්මක කිරීමට සූදානම්වන ව්‍යපෘතියේ සැබෑ ප්‍රතිලාභය වන්නේද විදුහල බව එහි විදුහල්පතිවරයා, ආදි ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා සහ පාසැල් සංවර්ධන සමිතියේ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ මගින් පාසල සතු ඉඩමෙන් කොටසක් අහිමි වීමක් වෙතැයි කිසිදු සැකයක් නොමැති බවය. කිංසි පාරට යාබදව පාසල සමීපයේ ඇති ඉඩම පාසලට ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන්ද ඉල්ලා සිටි බවත් විදුහලට සහයවීමට ජනාධිපතිවරයා කැමැත්තෙන් ඉදිරිපත් වූ බවත් ඔවුන් පෙන්වා දෙන්නේය. විදුහලට කිසිදු හානියක් සිදු නොවන බව ද සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර ඉදිරියේදී සාකච්ඡා කර තීරණ ගන්නා බව ද ඒකාබද්ධ නිවේදනයේ දැක්වේ. කෙ⁣සේ වෙතත් අද පැවති මාධ්‍ය හමුවකදී නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් රනවීර මහතා පැවසුවේ අදාළ ඉඩම් කොටස් පවරා ගැනීමට අදාළ ගැසට් නිවේදනය අහෝසි කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් බවය. පසුගිය මැයි මස 19 වැනිදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ විදුහල්පති හා නියෝජ්‍ය විදුහල්පති නිල නිවාස පිහිටි භූමිය හා යාබද විහාරස්ථානයේ කොටසක්ද ඇතුළත් පර්චර්ස් සියයක භූමිය නාගරික සංවර්ධන අධිකාරියට අත්පත් කර ගත්තේය. අද පැවති මාධ්‍ය හමුවේදී අනාවරණය වූයේ බහුමහල් රථ ගාලක් ඇතුළු ව්‍යපෘතියක් ක්‍රියාක්මක කිරීමට සැලසුම් කළ බවය.