නැව ගැඹුරු මුහුදට ‌ගෙන යන්නැයි, ජනපතිගෙන් උපදෙස්

ගිනිගත් X-Press Pearl නෞකාව ගැඹුරු මුහුදට ගෙන යන්නැයි, ජනපතිගෙන් උපදෙස්

by Staff writer 01-06-2021 | 8:32 PM

COLOMBO (NEWS1ST) :  කොළඹ වරායට ආසන්න මුහුදේදී ආපදාවට ලක් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදට රැගෙනයාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

ඒ අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති විශේෂ හමුවකදී ය. නාවුක සහ පරිසර ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක නියෝජිතයින් එහිදී පෙන්වා දී ඇත්තේ, ආපදාවට ලක් වූ නෞකාව මුහුදුබත්වීමේ අවදානමක් පවතින බවයි. ඔවුන් පෙන්වා දුන්නේ එසේ වුවහොත් සමුද්‍රීය පරිසරයට සිදුවිය හැකි හානිය අවම කර ගැනීමට නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාම සුදුසුම පියවර බවයි. ඒ අනුව ,තාක්ෂණික කරුණු පදනම් කර ගනිමින් නීතිපතිවරයාගේ උපදෙස් මත සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයාට ඇති බලතල ප්‍රකාරව නෞකාව ගැඹුරු මුහුදට රැගෙනයාමට වහාම නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ. ජනාධිපතිතුමා එහිදී පවසා ඇත්තේ, ගනු ලබන තීරණ තාක්ෂණික කරුණු මත පමණක් පදනම් විය යුතු බව සහ දේශපාලන කාරණා ඒ සඳහා අදාළ කර නොගත යුතු බවයි.