ගිනිගත් නැව නිසා දකුණු වෙරළට ත්  බලපෑම්

ගිනිගත් නැව නිසා දකුණු වෙරළට ත් බලපෑම්...

by Staff writer 01-06-2021 | 9:34 PM
COLOMBO (NEWS1ST) :

නැවේ ගින්නෙන් සිදුවූ පරිසර හානියේ අද තත්ත්වය කුමක් ද?

කොළඹ වරායට ඔබ්බෙන් වූ මුහුදේදී නැංගුරම් ලා තිබූ X-Press Pearl නෞකාවේ ගින්නේ වැඩිම බලපෑම සිදුව ඇත්තේ බස්නාහිර වෙරළ තීරයටයි. ඊට අමතරව නෞකාවේ තිබු ඇතැම් ද්‍රව්‍ය මෙරට දකුණු වෙරළ තීරයෙනුත් හමුවෙමින් තිබේ. පරිසර විශේෂඥයින් මුල සිටම අනාවරණ කළේ, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් මෙරට දකුණු වෙරළට ද බලපෑම් එල්ල විය හැකි බවයි. වැලිගම , මිදිගම , ගුරුබදුල , කළුකන්ද ඇතුළු වෙරළ තීරයන්ට ද ගසා ගෙන ආ නෞකාවේ බහාලුම්වල තිබූ ප්ලාස්ටික් අපද්‍රව්‍ය දැනටමත් මෙරට සංචාරක කර්මාන්තය කේන්ද්‍ර කරගත් දකුණු වෙරළට ද අත්කර දී ඇත්තේ ශෝචනීය තත්ත්වයකි. ආරක්ෂක අංශ සාමාජිකයින් , වෙරළාරක්ෂකයින් අද (01) තෙවැනි දිනටත් දකුණු වෙරළට ගොඩ ගසා තිබු ද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතුවල නිරත විය. මීට අමතරව පමුණුගම සරක්කුව වෙරළ තීරය, මීගමුව වෙරළ තීරය ද අදත් පිරිසිදු කෙරුණේ නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ මෙහෙයවීමෙනි. මේ අතර නෙදර්ලන්ත සමාගමක් මේ වනවිට නෞකාව නිරීක්ෂණ ක්‍රියාවලිය සිදුකරන අතර රක්ෂණ වන්දි සම්බන්ධයෙන් ද ඔවුන් මැදිහත් වනු ඇති. මීට පෙර MV නිව් ඩයමන්ඩ් නෞකාව ගිනිගත් අවස්ථාවේත් මෙම ක්‍රියාවළිය සදහා මැදිහත්වූයේ අදාළ නෙදර්ලන්ත සමාගමයි. කෙසේවෙතත් එම අනතුරේදී සිදුවූ හානියට තක්සේරු කළ වන්දිය නොලැබුණ බවට මේ වනවිට බරපතළ චෝදනාවක් එල්ලවී තිබේ. මේ අතර නෞකාවේ කපිතාන්වරයාට , ප්‍රධාන ඉංජිනේරුවරයාට සහ නියෝජ්‍ය ඉංජිනේරුවරයාට රටින් පිටවීම වළක්වමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (01) නියෝගයක් නිකුත් කළේ ය. අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ,  නැවේ ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තාවක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි. මේ අතර රජයේ රස පරික්ෂක නිලධාරීන් සමග නෞකාව පරික්ෂා කිරීමට ද අධිකරණය නියෝග කර ඇතැයි , පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය. කොළඹ වරායට පිටත මුහුදේදී ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පිටුපස කොටසේ ජල කාන්දුවක් ඇද්දැයි සෙවීම සඳහා කිමිඳුම්කරුවන් යෙදවීමට අද දහවල් පියවර ගත් බව බව නාවික හමුදාව පැවසී ය. මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ටිව්ටර් පණිවිඩයක නිකුත් කරමින් කියා සිටියේ සාගර් ආරක්ෂා මෙහෙයුම 2 සන්ධිස්ථානයකට ළඟා වී ඇති බවයි. ගින්න නිවීමෙන් අනතුරුව ගිනි නිවීමේ කණ්ඩායම් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට ගොඩවී තක්සේරු කිරීම් සිදු කරමින් පවතින බව ඔවුන් ඡයාරූප පෙළක් නිකුත් කරමින් කියා සිටියේ ය.

නැව ගිනිගත්තේ ඇයි?

හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා මහතා අද පැවසුවේ, නෞකාව ආධාර ඉල්ලා පැමිණි නෞකාවේ ගින්න හට ගත්තේ පැය 23 කට පමණ පසුව බවයි.
''යමෙක් ආපහුවාම ආධාර ඉල්ලලා ආපහුවාම ඒක අපිට වගකීමක්.ඇවිල්ලා පැය 23 කට විතර පස්සේ තමයි ඇත්තටම ගින්නක් ඇතිවුණේ. අපිට රිසෝසස්වලින් අපි ඒක මැඩපවත්වාගෙන හිටියා.වරාය අධිකාරියේ අපි ටග් යාත්‍රා 3 ක් පාවිච්චි කළා.කරලා මේක කන්ටෝරල් කරගෙන හිටියා''
කෙසේ වෙතත් ඒ් දිනවල මුහුදේ ඇති වූ කාලගුණික වෙනස් වීමත් සමග ගින්න තව තවත් වර්ධනය වූ බවයි.
''අවාසනාවට බෙංගාල බොක්කේ ඇතිවෙච්ච අවපාතයත් සමග එතන සයික්ලෝන් එකක් ඇති වුණාම කාලගුණය නොහිතු විදියට උග්‍ර වණා.උස මීටර් 4 ත් 5 ත් අතර තරමට මේක වර්ධනය වුණා.අනිත් එක තමයි මේ හුලගේ සැරකමට අර තිබ්ච්ච පිච්චෙමින් තිබිච්ච මේවා ගින්න වැඩි වුණා. ඒකෙන් තමයි මේක පානලනය කරගත නොහැකි තත්ත්වයකට පැමිණුන, මතක ඇති අතීතයේ එච්චර කාල ප්‍රමාණයක් වරායේ වැඩ නතර කරලා තිබිච්ච එකක් මාගේ අවුරුදු 16 ටවත් , මට වඩා හිටපු කට්ටියගේ ඒ කාලේවත් තිබුණේ නෑ කියලා ඒ හිටපු කට්ටිය කියනවා''

ඉල්ලා සිටි ආධාර දෙන්න අපිට පුළුවන්කමක් තිබුණා ද?

මේ අතර වරලත් සැපයුම් හා ප්‍රවාහන ආයතනයේ හිටපු උප සභාපති රොහාන් අබේවික්‍රම මහතා පවසන්නේ, එවැනි ගින්නක් මැඩපැවැත්වීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය සහ වෙනත් උපකරණ අප සතුව නොමැති බවයි.
''ගින්නක් මැඩපැවැත්වීමට අවශ්‍යය රසායනික ද්‍රව්‍ය සහ වෙනත් උපකරණ අප සතුව නැහැ. විශේෂයෙන්ම අපි ගාව බූම්ස් නැහැ. නිව් ඩයමන්ඩ් අවස්ථාවේදී අපි එක බූම් එකක්වත් පාවිච්චි කරනවා දැක්කේ නෑ. බූම් එකක් කියන්නේ තෙල් සහ වතුර වෙන්කරන උපකරණයක්. බුම් එක ඇතුළත තෙල් රැදෙනවා. අපි ගාව ඒ තාක්ෂණයවත් නෑ''