ඉන්දියාව එන්නත් අත්හදා බැලීමක..

ඉන්දියාව කොරෝනා මර්දන එන්නත් මිශ්‍ර කර දීම අත්හදා බලන්න සැරසෙයි

by Staff writer 01-06-2021 | 2:52 PM

News 1st - කොරෝනා මර්දන එන්නත් මාත්‍රා මිශ්‍ර කර ලබා දීමේ අත්හදා බැලීමක් කිරීමට ඉන්දියාව සූදානම් වෙයි.

ඒ, වෛරසයෙන් දීර්ඝ කාලීන ආරක්ෂාවක් ලබා දීම සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අරමුණු කර ගනිමිනි. එන්නත් මිශ්‍ර කර ලබා දීම සඳහා ලොව පුරා සිදු කෙරෙන අධ්‍යයනයන්ට සමගාමීව ඉන්දියාව මෙම තීරණය ගෙන තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ලොව මෙතෙක් කලක් එලෙස එන්නත් මාත්‍රා මිශ්‍ර කර භාවිත කිරීමක් සිදුව නොමැති බවයි. ඉන්දියාව මේ වනවිට සිය පුරවැසියන්ට ලබාදෙන්නේ කොවිෂීල්ඩ්, ස්පුට්නික් සහ කොවැක්සින් යන එන්නත් ය. මේ අතර ඉන්දියාව, කොරෝනා මර්දන එන්නත් අපනයනය නතර කිරීමෙන් ලොව රටවල් 91 කට බලපෑම් එල්ල වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, ඒ හේතුවෙන් එම රටවලට කොරෝනා වසංගතයත් සමග යථා තත්ත්වයට පත් වීමට පවතින අවස්ථාව ද ගිලිහී යන බවය. අප්‍රිකානු රටවල් මේ වනවිට එන්නත් ලබා දී ඇත්තේ සිය ජනගහනයෙන් සියයට 5 කටත් අඩු පිරිසකට බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා ලෝකයට මේ වනවිට පවතින එකම විසඳුම එන්නත්කරණය පමණක් බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ ය.