ජී.ආර්. පද්මරාජ් මහතා අභාවප්‍රාප්ත වෙයි

මෙරට සිනමාවට දැවැන්ත දායකත්වයක් දුන් ජී.ආර්. පද්මරාජ් අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 31-05-2021 | 10:48 PM

COLOMBO (News 1st) - මෙරට චිත්‍රපට ක්ෂේත්‍රයට අද්විතිය සේවයක් කළ නිෂ්පාදකවරයෙකු මෙන්ම සුප්‍රසිද්ධ ව්‍යපාරිකයකු වූ ජී.ආර්. පද්මරාජ් මහතා අභාවප්‍රාප්ත විය.

ඉන්දියාවේ චෙන්නායි නුවර රෝහලකදී අභාවප්‍රාප්ත වන විට ඒ මහතාගේ වයස අවුරුදු 69 කි. මෙරට චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රවීන චිත්‍රපට නිෂ්පාදකයකු වන කේ. ගුණරත්නම් මහතාගේ පුතනුවන් වන ගුණරත්නම් රබින්ද්‍රනාත් පද්ධමරාජ් මහතා 1951 වසරේ කොළඹදී උපත ලැබුවේ ය. ගල්කිස්ස ශාන්ත තොමස් විද්‍යාලයේ ආදි සිසුවකු වන පද්මරාජ් මහතා දරුවන් තිදෙනෙකුගේ පියෙකි. සිනිමාස් ලිමිටඩ්, සිනමා එන්ටර්ටෙයිට්මන්ට් පුද්ගලික සමාගම, කේ.ජී. සමූහ ව්‍යාපාරය යන ආයතනවල කළමනාකාර අධ්‍යක්ෂවරයා වන පද්මරාජ් මහතා සුප්‍රසිද්ද සිනමාහල් රැසක හිමිකරුවා ද වේ. සිය පියාණන්ගේ අඩි පාරේ යමින් මෙරට සිංහල චිත්‍රපට රැසකට නිෂ්පාදනයෙන් දායක වූ ඒ මහතා කෝමාලි කින්ස් දමිල චිත්‍රපටියට ද සිය දායකත්වය ලබා දුන්නේ ය. විදේශ චිත්‍රපට ආනයනකරුවෙකු මෙන්ම බෙදාහරින්නකු ද වන ඒ මහතා මෙරට චිත්‍රපට කර්මාන්තයේ උන්නතිය සඳහා කටයුතු කළ ක්‍රියාකාරියකු ද වේ.