COLOMBO (News 1st) - මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක ස්පුට්නික් එන්නත ලබා දීමේදී එහි කැමැත්ත ප්‍රකාශ කිරීමේ පත්‍රයට නව කොන්දේසියක් එක්කර තිබුණි.
රබර් මුද්‍රාවක් මගින් එහි සඳහන් කර ඇත්තේ, ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව පමණක් වුවද ලබා ගැනීමට කැමැත්තෙමි යනුවෙනි.
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා,
"මේ පළවෙනි එකෙන්ම ප්‍රතිශක්තීකරණය ඉතාමත් ඉහළ මට්ටමක තිබෙන බවයි සඳහන් වෙන්නේ ඒ නිසා දෙවනි එක සම්බන්ධයෙන් අවශ්‍ය ද තාක්ෂණික කමිටුව කියයි. මට තියෙන ආරංචි අනුව බොහෝ දුරට ස්පුට්නික් එක මාස 6 ක් යනකම් වලංගු බාවයක් තියනනවා කියන එකයි මම හරියටම දන්නේ නෑ"
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,
"අපි අහන්නනේ ඒක තින්දු කරන්න ඕන ජනතාව ද මාත්‍රා එකක්ද දෙකක්ද ගන්න ඕන කියලා ජනතාවට තින්දු කරන්න තියන දැනුම මොකක්ද ඒක තීන්දු කළ යුතුවන්නේ විශේඥයින් විසින් දේශපාලඥයාට ඕන ඕන හැටියට විද්‍යාත්මක කරුණු එහේ මෙහේ කරන්න බෑ මේවා සායනික් පරීක්ෂණ මත ගන්න ඕන තීන්දු"
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා,
"එන්නත් දෙකක් දෙන්න ඕන එකට එක එන්නතක් දීලා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ කියන එක නම් සෞඛ්‍ය අමාත්‍යංශය රට තුළ පැහැදිලි කළ යුතුයි ඒක තමයි වසංගත රෝග අංශයේ කාර්ය අපිත් ප්‍රශ්න කරනවා මේක වසංගත රෝග අංශය විසින් නිල වශයෙන් දුන්න තීරණය් මත පදනම් වූ සීල් එකත්ද ඔතන තියෙන්නේ එහෙම නම් ඒක ජනතාවට කියන්න ඕන"
මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,
"අපට නම් එහෙම දෙයක් වාර්තා වෙලා නැහැ සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත්ව එහෙම උපදේශයක් ලබාදීලා නැහැ. ඒක දෙවන මාත්‍රාව කියන්නේ වෙනම නිෂ්පාදනයක් පළවෙනි මාත්‍රාව නැවත වතාවක්දීමෙන් නෙවෙයි ඒක අපට සිද්ධ කරන්න වෙන්නේ ඒ සඳහා වෙනම එන්නත් මාත්‍රාව ලබාගත යුතුයි ඉදිරියේ ලැබෙන තොරතුරු කොයිකා අකාරයක ද මේ මොහොතේ කියන්න බෑ"
ප්‍රශ්නය -
ස්පුට්නික් පහ එන්නත පළමු මාත්‍රාව පමණක් උවද ලබා ගැනීමට මම කැමැත්තෙමි අත්සන් කරන්න තියෙනවා?
මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,
"මේ සෞඛ්‍ය අමාත්‍යංශය කියන්නේ මහා සාගරයක් මේක හැම තැනම යම් යම් තීරණ ගන්නවා මට මාධ්‍යයට ප්‍රකාශ කරන්න දෙන්න ඕන ඒ තොරතුරු ලිඛිතව පැහැදිලිව දෙන්න ඕන මොකද මට ගනින් ඇහෙන දේවල් දෙන්න බැහැ"
කෙසේ වෙතත් රුසියාවේ ස්පුට්නික් V එන්නත නිෂ්පාදනය කළ ගමේලෙයා මධ්‍යස්ථානය මෙතෙක් නිවේදනය කර ඇත්තේ, පළමු මාත්‍රාව සහ දෙවන මාත්‍රව අතර පරතරය දීර්ඝ කළ හැකි බව පමණයි.
මීට පෙර දින 21 ව තිබූ එම කාලය මාස 3ක් දක්වා දීර්ඝ කළ හැකි බවට ඔවුන් නිකුත් කළ නිවේදනයක සඳහන් ය.
අප කළ විමසීමකදී ස්පුට්නික් එන්නතේ මෙරට නිල නියෝජිතයා වන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ, තමන් රුසියාව සමග ගිවිසුම්ගතව ඇත්තේ මාත්‍රා දෙකම මිලදී ගැනීම සඳහා බවයි.
ඒ අනුව මාත්‍රා දෙකෙන් මිලියන 6.5 බැගින් එන්නත් මිලියන 13 එම ගිවිසුමට අයත් ය.