හෙළිදරව්වක්: ගිනි ගත් නැව ලංකාවට ආවේ විෂ ද්‍රව්‍ය මුදා හරින්න ද?

by Staff writer 30-05-2021 | 10:07 PM

? එක්ස්ප්‍රස් පර්ල් නැවේ තිබුණේ විෂ රසායනික ද්‍රව්‍යද? ? ගිනි ගත් නැව නිසා දකුණු මුහුදු වෙරළටත් හානි ? වන්දියක් නිසා අපේ පරිසරය විනාශ කර ගත්තා - ආචාර්ය අජන්තා පෙරේරා

COLOMBO (News 1st): රියාද්හි ප්‍රින්සස් නවුරා විශ්වවිද්‍යාලයේ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය චන්දිමා විජේගුණවර්ධන මහත්මිය පවසන්නේ ඉන්දියන් සාගරයේ විෂ සහිත නෞකා දෙකක් ගැන අන්තර් ජාතික පොලීසිය ද දැනුවත්ව සිට ඇති බවයි.

පර්යේෂණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය චන්දිමා විජේගුණවර්ධන මහත්මිය,
"ප්‍රින්සස් නවුරා විශ්වවිද්‍යාලය, රියාද් ඉන්දියන් සාගරයේ විෂ සහිත නෞකා එකක් නෙවෙයි විෂ සහිත නෞකා දෙකක් මේ කාල වකවානුව තුළ සැරිසරලා තිබෙනවා. ජාත්‍යන්තර ඉන්ට පොලිස් සංවිධානය මේ පිළිබඳව පකිස්ථානය දැනුවත් කරනවා. බංග්ලාදේශය දැනුවත් කරනවා. ඉන්දියාව දැනුවත් කරනවා. එතකොට අපේ ප්‍රශ්නය ලංකාව දැනුවත් කළේ නැද්ද? ඔවුන් දැනුවත් කරන කොට දැනුවත් කරලා තියෙන්නේ නියමිත අසුරුවාපු නැති විෂ සහිත තෙල් ඒ සමග ඇති තවත් විෂ සහිත ද්‍රව්‍ය සහිත නැවි දෙකක් ඉන්දියන් සාගරයේ සැරිසරපු බවයි. එක නෞකාවක් මේ වෙන කොට ලංකාවට ඇවිල්ලා ගිනි අරගන අපේ මුහුද විනාශ කරලා අපේ බිම විනාශ කරලා. ඉන්දියාවේ තොටුපළට ළඟා වෙන එක් නෞකාවක් නම වෙනස් කරලා පකිස්ථානයට හරවා යවලා මේ වෙන කොට පකිස්ථානයේ කරච්චිවලට ටිකක් එහායින් තියන තොටුපළේ නවතා තියනවා. ඒ නෞකාවේ 15000 ට වඩා අධික බැරල් ප්‍රමාණයක් අඩංගු වී තිබෙන මර්කරි සහ තෙල් මිශ්‍ර වෙච්ච ඉතාමත් විෂ සහිත රසායනික ද්‍රව්‍ය බහාලුම් විශාල සංඛ්‍යාවක් ඒ නෞකාවේ තිබෙනවා. ඒ විෂ සහිත නෞකාවට නොදැවෙනි නෞකාවක් ලංකාවට ඇවිල්ලා මේ වෙන කොට ලංකාවේ මුහුදු වෙරල ගිනිබත් කරනවා. ඇත්තටම කියනවා නම් අපි හරියටම දන්නේ නෑ මේ නෞකාවේ මර්කරි නැමති විෂ සහිත රසායනික ද්‍රව්‍ය අඩංගු වුනාද කියලා. මේවනි විෂ ලංකාවට ගෙන එන්න කවුද අවසර දුන්නේ කියන එක තමයි අපිට දැන ගන්නට ඕන කරන්නේ. අපේ රට නැති කරන්න පුළුවන් ඉහළම ආකාරයෙන් වින කරන්න පුළුවන් වෙච්ච රජයක්ද අපිට මේ ලැබිලා තියෙන්නේ කියන එක මන් අහන්න කැමතියි"
මේ සම්බන්ධයෙන් විමසීමට අප වෙළෙඳ නැව් අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න මහතා සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදී උත්සහ කළත් එය සාර්ථක වුනේ නැත.

? ඇත්තටම එක්ප්‍රස් පර්ල් නෞකාවේ තිබුණේ මොනවා ද?

නැව හිමි සමාගම නියෝජනය කරන සිංග්පුරුවේ එම්.ටී.අයි. නේට්වර්ක් සමාගමේ විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන්ම සකස් කර ඇති තොරතුරු කේන්ද්‍රයට අයත් වෙබ් අඩවියට අනුව ගින්න හටගත් අවස්ථාවේ නෞකාවේ බහාලුම් 1486 කි. නයිට්‍රික් ඇසිඩ් ටොන් 25කි. බැර ඉන්ධන ටොන් 297කි. තවත් බහාලුම් 81 ක උපද්‍රවකාරී ද්‍රව්‍ය ක්.

? ඇත්තටම නෞකාවේ තිබූ උපද්‍රවකාරී ද්‍රව්‍ය මොනවා ද?

මේ සම්බන්ධයෙන් අද දක්වා වගකිව යුතු පාර්ශව කිසිවක් හෙළි කර නැත. කෙසේ වෙතත් නෞකාව තුළ උපද්‍රවකාරී ද්‍රව්‍ය යටතේ විකිරණශීලී ද්‍රව්‍ය තිබුණේදැයි අපි ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනිල් රංජිත් මහතාගෙන් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ, එවැනි ද්‍රව්‍ය නෞකාව තුළ නොවු බවට වරාය අධිකාරිය තමන් දැනුවත් කළ බවය. මේ සම්බන්ධයෙන් පරිසරවේදීන් ඇතුළු පාර්ශව පෙන්වා දෙන කාරණයත් අවධානයට යොමු කළ යුත්තකි.

? එක්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් මෙරට පරිසර පද්ධතියට සිදුව ඇති හානිය..

ගිනිගත් නෞකාව හේතුවෙන් මේ වනවිට දැවැන්ත පරිසර අර්බුදයකට ලක්ව ඇත්තේ මෙරට බටහිර වෙරළ තීරය පමණක් නෙවෙයි. දැන් දකුණු වෙරළටත් නෞකාවේ තිබු ද්‍රව්‍ය ගොඩා ගසා තිබේ. අදත් ගුවන් හමුදාව, නාවික හමුදාව සහ වෙරළාරක්ෂකයින් අපවිත්‍ර වූ බටහිර වෙරළ පවිත්‍ර කර ඇත.

? මේ පරිසර විනාශය සුළුකොට තැකිය හැකිද?

පරිසර විද්‍යාව පිළිබඳව මෙරට පළමු ආචාර්ය උපාධිධාරීනිය ලෙස සැලකෙන ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය මාධ්‍ය හමුවක් කැඳවමින් පෙන්වා දුන්නේ නෞකාවේ ගින්නෙන් ඇති වූ පරිසර හානිය කිසිසේත් සුළු කොට තැකිය නොහැකි බවයි. අතිශය සංවේදී මෙරට මුහුදු කලාපයට දැනටමත් දැවැන්ත හානියක් සිදුව ඇතැයි ඇය පවසන්නී ය. පරිසරවේදිනී ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය,
"නයිට්‍රික් අම්ලය මුහුදට වැටෙනවා සේම ඒ ප්‍රදේශයේ හිටපු කුඩා මතස්‍යයින් හා සියලු ජීවින් මැරුණා විතරක් නෙමෙයි දිය වෙලා ගියා. ඇටකටු දිය වෙලා යනවා. ඒ වගේම මතුපිට ඉන්න ඇල්ගී සියල්ල මැරිලා ගියා. කැල්සියම් කාබනේට් දියවෙලා ගිහිල්ලා, අපි අවුරුදු ගාණක් හදපු කොරල්පර ටික ඔක්කොම විනාශ වෙලා ගියා. කොරල් පරයක් හැදෙන්න අගල් තුනක් හැදෙන්න අවුරුද්දක් යනවා. ඒකයි අපි පරිසර විද්‍යාඥවරුන් විදිහට කෑ ගහන්නේ. අපේ මත්ස්‍ය කළමනාකරණයට හදා ගත්ත සම්පත් එක මොහොතකින් නැති කර ගත්තා වන්දියක් හින්දා. මෙච්චර දුබල මෙච්චර දුප්පත් මානසිකත්වයක් අපේ කැබිනට් මණ්ඩලයට හා අපේ රටට රජයට කොහොමද ඇති වුණේ. මේකද මේ රජය කියලා කියන්නේ. එකකොට මේ ප්ලාස්ටික්වලට තියන හානිය. මාළු දන්නේ නැහි මේක ප්ලාස්ටික් පැලට් කියලා. මේක ගිලිනවා. ඊට පස්සේ ඔවුන්ගේ බඩේ තියෙන්නේ ප්ලාස්ටික් පෙලට්. ඒ නිසා තමයි මැරිච්ච මාළුන්ගේ කට ඇරියම ඒ මාළුන්ගේ ඇගේ තියෙන්නේ ප්ලාස්ටික් පැලට් සහ කරමල්වල හිර වෙලා තියෙන්නේ ප්ලාස්ටික් පෙලට්. මේක අපරාධයක්"

? ධීවර කර්මාන්තයටත් බලපෑම්...

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ද්‍රව්‍ය හේතුවෙන් ධීවරයින් දැන් පත්ව සිටින්නේ දැඩි අසීරුතාවකටයි. මුන්නක්කරය, හලාවත, මාරවිල, මුතුපන්තිය ඇතුළු වෙරළබඩ ප්‍රදේශ කිහිපයක ධීවරයින්ට දැන් ඇත්තේ එකම ගැටලුවකි. මීගමුව කලාපුව ආශ්‍රිතව මියගිය මසුන් ඇතුළු ජලජ ජීවීන් දක්නට ලැබුණු අතර ජාතික ජල සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ නිලධාරීන් අද හලාවත වෙරළ ප්‍රදේශයෙන් අද ජලසාම්පල ලබා ගෙන තිබේ.

? දැන් සිදුව ඇති හානිය ගණනය කරන්නේ කොහොමද? වගකිවයුතු පාර්ශව සියල්ල ඊට සම්බන්ධව සිටිනවාද?

වරලත් තක්සේරුකරුවන් පවසන්නේ සිදු වූ හානිය තක්සේරු කිරීමට තක්සේරුකරණය සම්බන්ධ වෘත්තිකයන් වන තමන්ගේ සේවය මෙතෙක් ලබාගෙන නොමැති බවයි. ? තවමත් ගිනි ගන්නා නෞකාවේ ඉදිරි කටයුතු.. වරාය අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, නාවික හමුදාව ඇතුළු පාර්ශව කිහිපයක් අද නීතිපතිතුමා හමුවෙමින් නෞකාව සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කළේ ය. කොළඹ වරායේ පිටත වරායේදී ගිනිගත් එක්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මේ වනවිට සුළු වශයෙන් පවතින අතර ශ්‍රී ලංකා නාවික හමුදාව අධෝරක්ත කිරණ සංවේදක නිරීක්ෂණ කැමරා යොදා ගනිමින් ගින්නේ තත්ත්වය නිරීක්ෂණය කර තිබේ.