කොවිඩ් පාලනයට පොදු ප්‍රතිපත්තියක් කෙටුම්පත් කරන්න

කොවිඩ් පාලනයට පොදු ප්‍රතිපත්ති මාලාවක් කෙටුම්පත් කරන්න - හිටපු අගමැති රනිල් රජයෙන් ඉල්ලයි

by Staff writer 30-05-2021 | 10:23 PM

COLOMBO (News 1st): කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ අද(30) විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.

"වසංගතය පාලනය කිරීම වෙනුවෙන් පොදු ප්‍රතිපත්ති මාලාවක් සහිත කෙටුම්පතක් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මූලික වී දැන් සැකසිය යුතුයි. වෙන කිසිවෙකුට මෙය සැකසීමට දිය යුතු නැහැ. කැබිනට් මණ්ඩලය මූලික වී සකසන මෙම කෙටුම්පත සඳහා ආණ්ඩුවේ නොවන පක්ෂ නායකයන් සමග හා පාර්ලිමේන්තුවේ විපක්ෂය සමග සාකච්ඡා කොට ඔවුන් ගේ අදහස් යෝජනාත් අරගන්න. විපක්ෂයේ සියලු පක්ෂත් යෝජනා ලබාදී ඊට උදව් කරන්න. ඉන්පසු වෛද්‍ය ක්ෂේත්‍රයේ අය සමඟත්, ව්‍යාපාරිකයන් ඇතුළු විද්වතුන් සමඟත් මේ ගැන සාකච්ඡා කිරීම වැදගත් බවයි මගේ අදහස. සියලු දෙනා එකතුව සාකච්ඡා කිරීමෙන් පසු මාසයක් වැනි කාලයක් තුළ සියලු දෙනාට එකඟ වූ කෙටුම්පතක් රටට දිය හැකි වෙනවා. වසංගත පාලනයට අවශ්‍ය නීතිත් මේ යටතේ සම්මත කරගත හැකියි. නමුත් අද වනතෙක් අපි වසංගතය පාලනය වෙනුවෙන් කිසිදු නීතියක් සම්මත කර නැහැ. ලෝකයේ අනෙක් රටවල් අවශ්‍ය නීති සම්පාදනය කරලා ඒවා ක්‍රියාත්මක කරමින් සිටිනවා.වසංගතය පාලනය කරමින් රටත් ආර්ථිකයත් පවත්වා ගැනීමට අවශ්‍ය නීති ඇතුළත් කෙටුම්පතක් සකසන ලෙස මම කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා. අපි සියලු දෙනා එක්ව පොදු ප්‍රතිපත්තියක් සකස් කරමු. එවිට ශ්‍රී ලංකා මාතාව ආරක්ෂා කිරීමේ උදාර අරමුණ ඉටු වේවි"