විජිත හේරත්ගෙන් හෙළිදරව්වක්

''කාබනික පොහොර කියලා ගේන්න යන්නෙ, චීනයේ නාගරික කසල'' - විජිත හේරත්

by Staff writer 30-05-2021 | 9:44 PM

COLOMBO (NEWS1ST) :  කාබනික පොහොර යැයි කියා මෙරටට ආනයනය කිරීමට සුදානම් වන්නේ, චීනයේ  නාගරික කසල බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

මන්ත්‍රී විජිත හේරත් මහතා මාධ්‍යට  අදහස් දක්වමින් අද (30) පැවසුවේ, හිතුවතුන් පිරිසකගේ ව්‍යාපාරික අරමුණු ඉටු කර දීමේ අපේක්ෂාවක් ද  මෙහි ඇති බවයි. කාබනික පොහොර පිළිබඳ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින් 46 දෙනා අතර කෘෂිකර්මාන්තය පිළිබඳ දැනුමැති ආචාර්ය, මහාචාර්යවරු මෙන්ම සිතා ගත නොහැකි විවිධ සාමාජිකයින් කිහිප දෙනෙකු ද එහි සිටින බව ද මන්ත්‍රීවරයා අද මාධ්‍ය හමුවේදී අනාවරණ කළේ ය.
''කාබනික පොහොර පිළිබඳ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවලා තියෙනවා.එහි ඉන්නවා සාමාජිකයෝ 46 දෙනෙක්.විවිධ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය පිළිබඳ දැනුම තියෙන ආචාර්ය මහාචාර්යවරුත් ඉන්නවා ඒ අතරතුරේ විවිධ අයත් ඉන්නවා හිතා ගන්න බැරි අයත් ඉන්නවා''
මන්ත්‍රීවරයා පැවසුවේ, චීනයෙන් මෙලෙස ගෙන ඒ්මට සැරසෙන්නේ, කාබනික පොහොර යැයි කියමින්  වෙනත් රටවල අපනයනය කරන  නාගරික කසල බවයි. චීනය, එරට නාගරික කසල බැහැර කරන කන්ටේනර් ටැංකිවලට යූරියා ස්ප්‍රේ කර පසුව ඒ්වා කාබනික පොහොර බව කියමින් ලොව බොහෝ රටවලට අපනයනය කරන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේ ය. ''දැන් මේ මොකක්ද කරන්න යන්නේ. පිටරටින් කාබනික පොහොර ආනයනය කරන්න, ආනයනය කරනවා කියලා කොහෙන් ද ගේන්න යන්නේ, චීනයෙන් නාගරික කසල. ඒවා මේ කාබනික පොහොර නෙමෙයි. කවුරුත් දන්න දේ තමයි චීනයේ නාගරික කසල බැහැර කරලා ඒ කසල උඩට යූරියා ඉහලා ඒ කන්ටේනර් ටැංකිවලට යූරියා ස්ප්‍රේ කරලා, ඒක තමයි නයිට්‍රජන් ප්‍රමාණය ඔන්න දැන් තියෙනවා කියලා ලොකෝ බොහො රටවලට කාබනික පොහොර කියලා යවන්නේ.'' තව ද මන්ත්‍රීවරයා සඳහන් කළේ එමගින් රසායනික පොහොරවලින් සිදු වන විනාශයට නොදෙවැනි විනාශයක් සිදුවන බවයි. ''ඒක රසායනික පොහොරවලින් වන විනාශයට නොදෙවැනි විනාශයක් ඒ හරහා සිද්ධ වෙනවා. එක පැත්තකින් මේක බිස්නස් එකක් කරගන්නවා. තමන්ගේ හිතවත්තු තමන්නේ චෞර වලල්ලේ කට්ටියව දාලා පොහොර ආනයනය කරන්න, ඒ කට්ටියට අවස්ථාව දෙනවා''