X-Press Pearl නෞකාවට ඇත්තට ම මොකද වුණේ..?

X-Press Pearl නෞකාවට ඇත්තට ම මොකද වුණේ..?

by Staff writer 29-05-2021 | 11:03 PM
COLOMBO (NEWS1ST) : ? දිනය - 2021 මැයි 09 එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඩුබායි රාජ්‍යයේ ජෙබෙල් අල් වරායෙන් ගමන් අරඹයි. ? දිනය - 2021 මැයි 11 එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කටාර් රාජ්‍යයේ හමාඩ් ජාත්‍යන්තර වරායට. ? දිනය -2021 මැයි 15 එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඉන්දියාවේ ගුජරාට් හි හසීරා වරායට. නෞකාවේ ඇසිඩ් කාන්දුවක් ඇති බව අරාබි මුහුදේදී හඳුනා ගැනේ ?දිනය - 2021 මැයි 20 දුමක් සහිත නෞකාව කොළඹ වරායේ පිටත වරායට. එදිනම රාත්‍රියේ නෞකාවේ ගින්නක්. ?දිනය - 2021 මැයි 21 ගින්න මැඩ පැවැත්වීම පිළිබඳව සෙයා බැලීමට විෂය භාර අමාත්‍යවරයා පාලක මැදිරියට. පැය කිහිපයක් තුළදී නෞකාවේ ගින්න ක්‍රමක්‍රමයෙන් වැඩි වු අතර පසුව ගින්න මැඩපැවැත්වීමට ජාත්‍යන්තර සහය ලබා ගැනීමටද සිදු විය.

දැන් නෞකාවේ තත්ත්වය ?

එක්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ පිටත වරායට පැමිණ අදට දින 9 ක් ගතව ඇතත් නෞකාවේ ගින්න මේ වනවිටත් සම්පූර්ණයෙන් මැඩ පවත්වා නොමැත. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් යොදා ගනිමින් ගුවනේ සිට ගිනි නිවීමේ රසායනික ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 425 ක් හෙළීම සිදුකෙරිණ.

ගින්න පාලනයට තාක්ෂණය මදි වුණාද?

හදිසි ගිනි නිවීම සම්බන්ධයෙන් වරාය අධිකාරිය සතු ක්‍රමවේදයන් පිළිබඳව ඊයේ රජයේ ප්‍වෘත්ති දෙපාර්තමේන්තුවේ කැඳවා තිබු මාධ්‍ය හමුවේදී අදහස් පළ විය. . මේ ඒහිදී අදහස් පළ කළ හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා..
''ගිනි නිවන හමුදාවක් තියෙනවා. වරාය අධිකාරිය සතුව වරාය පරිශ්‍රයන් තුළ ඇති වන ගිනිවලට සටන් කිරීම සඳහා. මේ සම්බන්ධව විශේෂඥ ෆයර් ෆයිටර්ස්ලා ඉන්නනවා. මොකද අපේ සිටි ෆයර් බ්‍රිග්‍රේඩ් එකේ හරි අපේ වරාය ෆයර් බ්‍රිග්‍රේඩ් හරි ඉන්නේ සාමාන්‍යයෙන් පරිශ්‍රයේ සහ නාවික සම්බන්ධව. නමුත් දියඹට ගිහිල්ලා ඒ විශේෂිත කණ්ඩායමක් තමයි අර නෙදර්ලන්තයෙන් නොබෝදා පැමිණියේ ලංකාවට 12 ස් දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක්. ඊට අමතරව විශේෂිත උපකරණ රැගත් ගුවන් යානයකුත් පැමිණියා. අපේ තියෙන්නේ විශේෂිත සාමාන්‍යයෙන් සේවා සපයන යාත්‍රාවලින්ම ගිනි නිවීමේ හැකියාව තියෙන යාත්‍රා තමයි. දැන් මේ දැන් ඔය ගෙනල්ලා තියෙන සැල්වේජ් කම්පැනිවලින් විශේෂිත වු ගිනි නිවීමේ හා සැල්චේජ් කිරීමේ ක්‍රියාන්විතයන්ට විශේෂිත වු ටග් යාත්‍රාවන්. අපේ එහෙම ටග් යාත්‍රාවන් නෑ''

නැවේ ගින්න මැඩපැවැත්වීමට ගත් ක්‍රියාමාර්ග නිවැරදි ද?

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරායට පැමිණ පැය කිහිපයක් ගත වන විට එහි ගින්නක් හටගෙන ඇති බවට වාර්තා විය. වරාය අධිකාරිය ක්ෂණිකව ක්‍රියාත්මක වී ජලය භාවිත කරමින් ගින්න මැඩපැවැත්වීමට උත්සහා කළත් ගින්න තවදුරටත් පැතිර ගියේ ය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රදීප් ජයවීර මහතා පැවසුවේ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් හටගන්නා මෙවැනි ගිනි නිවීමට ජලය ‍භාවිත කිරීම සුදුසු ක්‍රමවේදයක් නොවන බවයි.
''කාබනික ද්‍රව්‍ය ගිනි ගන්නකොට වතුර ගහන්න බෑ. ඒවාගේ වෙලාවට කාබන්ඩයොක්සයිඩ් හරි පව්ඩර් හරි තමයි පාවිච්චි කරන්න වෙන්නේ . ඒක බලලා තමයි ඉතින් මොන වාගේ කන්ටේනර්ස්ද? ගිනි ගන්නේ කොයි වාගේ පැත්තක්ද නැවේ ගිනි ගන්නේ ඒවාගේ අධ්‍යයනය කරලා තමයි ඒවා තීරණය කරන්න ඕනේ. නයිට්‍රික් අම්ලය නැවත අපි යොදන මුහුදු ජලය සමග එකතු වෙලා නැවත මුහුදට එකතු වෙනවාද කියන එක ගැන ඉතාමත්ම පරිස්සම් වෙන්න ඕනේ.''

මෙතරම් අවදානමක් සහිත නැවක් කොළඹ පිටත වරායට පැමිණියේ අවසරයකින් තොරව ද?

මේ වරාය හා නාවුක අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පළ කළ අදහස...
''ඉන්දියාවට මේ ලීක් ද්‍රව්‍යයක් එළියට යනවා කියලා කිව්වාට පස්සේ ඉන්දියාව කියලා තිබුණා. ඒ පහසුකම අපිට නැහැ කියලා. නමුත් අපේ වරායට මේ කිසිදෙයක් දැනුම් දෙන්නේ නැතුව අපේ වරායට ඇවිල්ලා වරායේ ඇතුළට ආවේ නැහැ. ඔවුන් හිටියේ පිටත වරායේ නැංගුරමේ. පිටත වරායේ නැංගුරමේ ඉද්දි තමයි පණිවඩයක් ලැබුනේ ගින්නක් හට ගන්නවා කියලා. ඒ හටගන්න ගින්නයි කියලා කියන කොට අපි ආසියාවේ හබ් එකක් හැටියට අපි ව්‍යාපාරය කරන වරායක්. ඒ නිසා එවැනි තත්ත්වයක් ඇති වෙච්ච ගමන්ම අපි කරේ පළමුවෙන්ම මේ නැවේ ගින්න නවත්තන්න වැඩකටයුතු කරපු එක. දින 3 ක්. අවාසනාවට කාලගුණය වෙනස් වීමත් එක්ක , මුහුද රළු වෙලා ඇති වෙච්ච එකෙන් තමයි ගින්න හටගත්තේ. අපි වරායට ඇතුළු වෙනකොට මේ නැව නෙවෙයි කොයි නැව වුණත් අපේ හාබර් මාස්ටර් ඒවාගේම වරාය අධිකාරියේ නිලධාරීන් ඒ නැවක් ඇතුළට ගන්න පුළුවන් තත්ත්වයන් තියෙනවාද කියලා බලලයි ඇතුළට ගන්නේ. අපිට අවුට් හාබර් එකේ තියෙනකොට තමයි දැනුම් දෙන්නේ. අපිට ඉන්දියාවේ වරායෙන්වත් පිටත් වෙන කොට අපිට කිසිම දැනුම් දීමක් කරලා නෑ අපේ වරාය අධිකාරියට.''

නැවේ රසායන ද්‍රව්‍ය කාන්දුවක් පැවති බවට කොළඹ වරායේ බලධාරීන් දැනුවත් කළා ද? නැද්ද?

මෙම චෝදනාව සම්බන්ධයෙන් නැව හිමි සමාගම නියෝජනය කරන සිංග්පුරුවේ එම් ටී අයි නේට්වර්ක් සමාගමේ අධ්‍යක්ෂ ඇන්ඩ්‍ර ලීහී මහතාගෙන් අද අප යළිත් විමසීමක් කළේ ය.
''අපි ශ්‍රී ලංකා නාවික හමුදාව සමග සබඳතා පවත්වමින් සිටින අතර ගලවා ගැනීමේ කණ්ඩායම්වලින් වාර්තාවක් ඉල්ලා තිබෙනවා. අපි මෙම සිදුවීම වාර්තා වන අවස්ථාව දක්වා පැවැති සිදුවීම් පිළිබඳව අපි සොයා බලලා නෑ. අපිට දැනට අවධානය යොමු කරලා තියේනේ ගින්න පාලනය කිරීමටයි. ඉන් පස්සේ අපි විමර්ශනයක් ක්‍රියාත්මක කරනවා. මෙම විමර්ශනවලින් අවශ්‍ය වන තොරතුරු සහ පෞද්ගලික දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.''
මේ අතර සිංග්පුරුවේ එම් ටී අයි නේට්වර්ක් සමාගමේ අධ්‍යක්ෂවරයා අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ නැව බඳ කොටස දෙකඩ වීමට තරම් හානියක් සිදුව නොමැති බවයි.

ගිනිගත් නෞකාවෙන් සිදුවු හානියට වගකියන්නේ කවුද?

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හටගැනීම සහ අනතුරුදායක නෞකාව අපේ මුහුදු සීමාවට ඇතුළු කිරීමට ඉඩදීම පිළිබඳව දැන් ඇත්තේ සංවාදාත්මක තත්ත්වයකි.

මෙවැනි සමුද්‍රීය අනතුරු සම්බන්ධයෙන් ලෝකයේ වෙනත් රටවල් ක්‍රියාකර ඇත්තේ කෙසේද?

2010 වසරේ මෙක්සිකෝ බොක්ක ආශ්‍රිත මුහුදේ බ්‍රිතාන්‍ය පෙට්‍රෝලියම් සමාගම පවත්වාගෙන ගිය බොරතෙල් ආකරයේ හටගත් ගින්නෙන් ඇමරිකාවේ සමුද්‍ර පරිසරයට දැඩි හානියක් සිදුවිය. මේ පරිසර හානිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පෙට්‍රෝලියම් සමාගමට අපරාධ චෝදනා යටතේ නඩු ගොනු කළ ඇමරිකාව ඩොලර් බිලියන 4 ක දඩයක් අයකර ගත්තේ ය. ඊට අමතරව ඩොලර් බිලියන 20 කට ආසන්න වන්දි මුදලක් ගෙවීමට ද බ්‍රිතාන්‍ය සමාගමට සිදුවිය. මෑතකදී සූවස් ඇලේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් සිරවීම නිසා සිදුවූ අවහිරවීම මතක ද? අනතුරෙන් සූවස් ඇල සති දෙකක් අවහිරවීම නිසා ජාත්‍යන්තර නාවික ගමන් රැසකට බාධා මතුවිය. සිදුවූ හානිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 916 ක වන්දියක් ගෙවන ලෙස ඊජිප්තුව මේ වනවිට අදාළ නෞකාව අයත් සමාගමට නියෝග කර තිබේ.

එහෙත් අපේ රටේ සිදුවන්නේ කුමක්ද?

පසුගිය වසරේ සැප්තැම්බර් 3 වෙනිදා නැගෙනහිර මුහුදේ ගිනි ගැනීම ආරම්භවූ එම්ටී නිව් ඩයමන්ඩ් බොරතෙල් නෞකාව පිළිබඳ සිද්ධියත් එවැන්නකි. ගින්න නිවාදැමීමට ගිය වියදම් හා පරිසර හානිය වෙනුවෙන් රුපියල් මිලියන 450 කට අධික මුදලක් ගෙවන ලෙස අදාළ සමාගමට නියම කෙරිණ. නමුත් එම මුදලින් කොටසක් සමාගම ගෙවා තිබූ නමුත් ඉතිරි මුදලට සිදුවූයේ කුමක්දැයි මෙතෙක් අනාවරණයවී නොමැත. දැන් අලුත්ම සිදුවීම එක්ස්ප්‍රස් පර්ල් නෞකාවයි. සිංගප්පූරු ධජය යටතේ යාත්‍රාකළ නෞකාවේ ලෝකයේ ප්‍රධාන පෙලේ නැව් සමාගම් කිහිපයක බහලුම් ප්‍රවාහනය කරමින් තිබිණ.

සිදුව ඇති හානිය වෙනුවෙන් දැන් සිදුකරන්නේ කුමක්ද?

ලැබෙන වන්දිය කුමක්ද?