COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු වූ විනාශකාරීම පාරිසරික විනාශය එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් සිදු වූ අපද්‍රව්‍ය බැහැරවීම බව සාගර විද්‍යාඥ චරිත පට්ටිආරච්චි මහතා පවසයි.
"මෙම නැවේ ප්ලාසිට්ක් අමුද්‍රව්‍ය මිලියන 7.8 ක් තිබ්බා. සමහර ඒවා අපිට ඉවත් කළ හැකියි. නමුත් එය දිගුකාලීනව රදා පවතීවි. ඉන්දියාව, මාලදිවයින, ඉන්දුනීසියාව සහ සෝමාලියාව වැනි රටවලටද මේ පාවී යා හැකියි. ඒවාගේම අපේ රටේ දකුණු වෙරළ තීරයේදී ද හම්බන්තොට සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවලටත් මෙහි බලපෑම් සිදුවිය හැකියි. කලපු සහ ගංගාවලටත් මෙය මිශ්‍ර විය හැකියි. මෙහි බලපෑම පරම්පරා ගණනාවක්ට මුහුණ දීමට සිදුවේවි. ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අතිශය නරකම පරිසර ව්‍යසනයක් මේ සිදුව තිබෙන්නේ. මෙම නැවේ තෙල් මේට්රටික් ටොන් 300 ක් තියෙනවා. එම නිසා නැව ගිලෙන එක නැවැත්විය යුතුයි"
ඊයේ(28) ටී.වී. වන් නිව්ස් ලයින් වැඩසටහනට එක්වෙමින් වරලත් සැපයුම් හා ප්‍රවාහන ආයතනයේ හිටපු උපසභාපති රෝහණ අබේවික්‍රම මහතා මෙම නෞකාවේ ගින්න සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසකි.
"පැහැදිලිවම මෙතන මෙවැනි තත්ත්වයක් පාලනය කිරීමට අවශ්‍ය විශේෂඥ දැනුම මදි. මුලින්ම ගත්තොත් නැවේ ගින්න මැඩ පැවැත්වීමට යෙදුවේ වරාය අධිකාරියේ ටග් යාත්‍රා එවැනි ටග් යාත්‍රාවලට මෙවැනි ගින්නක් මැඩ පවත්වන්න බෑ, ඒවා සුදුසු නෑ. මෙහිදී අප භාවිතා කළ උපකරණ මෙවැනි ගින්නක් මැඩපැවැත්වීමට සුදුසු උපකරණ නෙවෙයි. දෙවැන්න මම කලින් කියුවා වගේ මේ පිළිබඳව විශේෂඥ දැනුමේ මදි කමක් තියෙනවා"
විශේෂඥයින් පෙන්වා දෙන පරිදි දැනටමත් මහා පරිසර විනාශයක පෙර නිමිති මෙරට බටහිර වෙරළ තීරයෙන් හමුවෙමින් තිබේ.
අප වාර්තාකරුවන් පැවසුවේ, අද දෙහිවල, වැල්ලවත්ත, බම්බලපිටිය, කාක දූපත, පමුණුගම, සරක්කුව හා මීගමුව වෙරළ ප්‍රදේශවලට අමතරව හික්කඩුව වෙරළ තීරයෙන් නෞකාවේ තිබු බවට සැලකෙන ඇතැම් ද්‍රව්‍ය වෙරළට ගසා විත් තිබූ බවයි.
නාවික හමුදාව, වෙරළාරක්ෂකයින් ඇතුළු පාර්ශව ගණනාවක් අදත් මෙම උපද්‍රවකාරී ද්‍රව්‍ය ඉවත් කිරීම් සිදු කළේ ය.
මෙය දැවැන්ත පරිසර විනාශයක ආරම්භය බවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී අචාර්ය ටර්නි ප්‍රදීප් මහතා,
"මේ අයින් කරන ප්ලාස්ටික් කැබලි සමග වැලි ගොඩාක් වැලි ඉවත් වීමක් සිදුවනවා මෙතනදි. ඉතින් අපි මේ බැකෝ යන්ත්‍ර භාවිත කරලා ඉතාමත් වැඩි වශයෙන් එකතු කරන අතර වැලි සමග එන ප්ලාස්ටික් කැබලි බෑග්වලට දමා මේ කන්ටේනර් පෙට්ටි ඇතුළට පුරෝලා අවශ්‍ය ස්ථානවලට යාම තමයි මෙතදි කරන්නේ. මෙතනින් එහා වැල්ලේ මේ වාගේ සිය දාස් ගුණයක් වැල්ලේ ප්ලාස්ටික් එකතුවෙලා තියෙනවා. වැලි සමග එකතු වෙලා තියෙනවා"
සිදු වී ඇති පරිසර හානියේ තරම අද ප්‍රදේශයේ ධීවරයින්ට අත්විඳින්නට ලැබුණි.
උස්වැටකෙයියාව, තල්දියවත්ත ලුනාව ධීවරයින් විසින් මීට දින කිහිපයකට පෙර මසුන් ඇල්ලිම සඳහා ගැඹුරු මුහුදේ එලනු ලැබූ දැල්. පසුව ධීවර කටයුතු තහනම් කිරීම හේතුවෙන් ධීවරයින් අද උදෑසන නැවත එලු දැල් ගොඩබිමට රැගෙන විත් තිබේ.
එහිදී දක්නට ලැබුණේ, ගිනි ගැනීමට ලක් වූ නෞකාවේ සුන්බුන් දැල්වල පැටලී ඇති අයුරුයි.
ගිනිගත් නැවේ අපද්‍රව්‍ය මීගමුව මෝය කට හරහා මීගමුව කලපුවට ගලා ඒම වැළැක්වීම සඳහා මීගමුව කුච්චිදූව ප්‍රදේශයේ සිට දූව ධීවර ගම්මානය අතර මෝය කටේ කොටසක් දිය බාධක යොදා හරස් කිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරිය විසින් අද පස්වරුවේ කටයුතු කළේ ය.