COLOMBO (NEWS1ST) : ජුනි මාසයේ දී චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් සහ රුසියාවේ නිෂ්පාදිත ස්පුටිනික් V තවත් එන්නත් තොග මෙරටට ලැබෙනු ඇතැයි, ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
''චීනයේ නිෂ්පාදනය කරන ලද සයිනොෆාර්ම් එන්නතේ තවත් මාත්‍රා ලක්ෂ 10 ක් ජුනි මස 06 වෙනිදා ආයතනයෙන් නිදහස් කරන බව අපට දැනුම්දුන්නා. ඒ වගේම එම මාත්‍රා ලක්ෂ 10 ලංකාවට ලැබීමෙන් පසුව සතියක් පමණ ඇතුළත ඊළඟ ලක්ෂ 10 ත් නිදහස් කරන්න පුළුවන් කියලා ඔවුන් අපට දැනුම්දීලා තියනවා. අපි හිතනවා ජුනි මාසයේ දී අනම වශයෙන් ලක්ෂ 20 ක සයිනෙෆාම් එන්නත් ලැබනෙවා. ස්පුටිනික් එන්නත් ජුනි මාසයේදී සෑහෙන ප්‍රමාණයක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා..''
චීන රජයේ පරිත්‍යාගයක් ලෙස සයිනොෆාම් එන්නත් තවත් මාත්‍රා ලක්ෂ 05 ක් මේ වනවිට දිවයිනට ලැබී ඇති අතර ස්පුට්නික් එන්නතේ මාත්‍රා පනස් දහසක් ද පෙරේදා මාධ්‍යම රාත්‍රියේ මෙරටට ළගා විය.
මේ අතර රජයේ අපේක්ෂාව ඇස්ට්‍රසෙනෙකා එන්නත නිෂ්පාදනය කරන ඇස්ට්‍රසෙනෙකා ආයතනය හෝ සීරම් ආයතනය සමග ඝෘජු ගිවිසුමක් ඇති කර ගෙන එන්නත ලබා ගැනීම සඳහා පමණක් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, ඇස්ට්‍රසෙනෙකා එන්නත ලබා ගත හැකි ලොව අනෙකුත් සෑම දෙනා සමග ද මේ දිනවල සාකච්ඡා පවත්වන බවයි.
විවිධ ආයතන විවිධ මිල ගණන් ඉදිරිපත් කරන නමුත් එම මිල ගණන් යටතේ එන්නත මිලදී ගැනීමට බලාපොරොත්තුවක් නැති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
කොරෝනා මර්දන එන්නත්කරණයේ මීළඟ අදියර රත්නපුර හා යාපනය දිස්ත්‍රික්කවලින් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ හෙට දිනයේ රත්නපුර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය ආරම්භ කරන බවයි.
කුරුණෑගල, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ජනතාවට සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම මේ වනවිට සිදු කෙරේ.
මාතර වෙහෛරහේන පූර්වාරාම විහාරස්ථානයේ මෙන්ම උයන්වත්ත ක්‍රීඩාංගණයේදී එන්නත් ලබාදීම සිදුකෙරිණ.
මේ අතර ගාල්ල බොපේ පොද්දල ප්‍රදේශයේ ද අත්‍යාවශ්‍ය රාජකාරිවල නිරතවෙන පුද්ගලයින් සඳහා එන්නත්කරණය සාර්ථකව සිදු කෙරිණ.
සේඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ, බස්නාහිර පළාතේ එන්නත්කරණය ද සාර්ථකව සිදුවන බවයි.
කළුතර බෝඹුවෙල ශ්‍රී සුබෝධි රාජාරාම මහ විහාර පරිශ්‍රයේදීද අද සයිනෝෆාර්ම් එනන්නත් ලබාදුන්නේ ය.
මේ අතර කොළඹ නාගරික සීමාවේ ජනතාවට සයිනොෆාම් එන්නත් ලබාදිම අද සිට යළි ආරම්භ කරන කොළඹ මහනගර සභාව පවසයි.
යුද හමුදා 53 වන සේනාංකයේ මැදිහත්වීමෙන් මෙන්ම වෙළඳ සංගමයේ දායකත්වයෙන් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන්ට මෙන්ම එහි කාර්ය මණ්ඩලයටද අද එන්නත්කරණය සිදුකෙරිණ.