''සංචරණ  සීමා ජුනි 7 තෙක් අඛණ්ඩව ක්‍රියාත්මකයි''

ජුනි 7 තෙක් සංචරණ සීමා ලිහිල් නොකිරීමට ජනපතිගෙන් තීරණයක්...

by Sagarika Chathumali 28-05-2021 | 1:14 PM

COLOMBO (NEWS1ST) : ජුනි මස 07 වනදා තෙක් සංචරණ සීමා ලිහිල් නොකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේ ජනාධිපතිවරයා මෙම තීරණය ගත් බවයි. සංචරණ සීමා පැනවීම හේතුවෙන්, ජනතාව පීඩාවට පත් නොවීම සඳහා අතර මැද තෝරාගත් දින 03ක් විවෘතව තැබීමට මීට පෙර තීරණය වී තිබුණ ද පසුගිය 25 වනදා සංචරණ සීමා ලිහිල් කළ අවස්ථාවේ ජනතාව ක්‍රියා කළ ආකාරය වසංගතය පැතිර යාමට ඉඩ හැරීමක් බවත් වසංගතය පැතිර යාම වැළැක්වීමට රජය ගන්නා උත්සහාය එමගින් අසාර්ථක විය හැකි බව ත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත. ඒ අනුව මැයි මස 31 සහ ජුනි මස 04 යන දෙ දින සංචරණ සීමා ලිහිල් කිරීමට ගෙන තිබු තීරණය අත්හිටුවීමටත්, ඉදිරි දින සඳහා ජනතාවට අවශ්‍ය භාණ්ඩ ජංගම අලෙවි රථ මගින් බෙදාහැරීමටත් පියවර ගන්නැයි ද ජනාධිපතිතුමා වැඩිදුරටත් උපදෙස් දී තිබේ. සංචරණ සීමා පනවා ඇති දිනවල අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණක් නිවසින් බැහැර යාමට අවසර දී ඇති අතර මාර්ගවල ගමන් කිරීමේදී සේවා ස්ථානයෙන් කැඳවීම් කර ඇති ලිපිය සහ සේවා හැඳුනුම්පත ළඟ තබා ගැනීම අනිවාර්යය වේ. කොවිඩ් වසංගතය පැතිර යාම වැළැක්වීමට රජය ගන්නා උත්සාහයට ජනතාව ද වගකීමෙන් සහය දිය යුතු බව ජනාධිපතිවරයා පවසා ඇත. ජනාධිපතිතුමා සෞඛ්‍ය අංශ වෙත උපදෙස් දී ඇත්තේ, සයිනොෆාම් ප්‍රථම එන්නත ලබාගත් ජනතාවට, ජුනි මස 08 වනදා සිට මසක් පිරෙන දිනයේදී පළමු මාත්‍රාව ලබාගත් ස්ථානයේදීම දෙවන මාත්‍රාව ලබාදීමට පියවර ගන්නා ලෙසයි. සෞඛ්‍ය අංශ හඳුනාගෙන ඇති වෙනත් දිස්ත්‍රික්කයන්හි එන්නත්කරණ කටයුතු විධිමත්ව සහ අඛණ්ඩව සිදුකිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා අවධාරණය කර ඇත. අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණි ලොකුගේ, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහු, අමාත්‍යාංශ ලේකම්වරු, ත්‍රිවිධ හමුදාපතිවරු සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීහු ද මෙම අවස්ථාවට එක්ව සිට ඇත.

 

  https://www.youtube.com/watch?v=UBUEw08bOv4