COLOMBO (NEWS1ST) : ඉකුත් විසි වෙනිදා කොළඹ වරායේ පිටත වරායේ තිබියදී ගිනිගත් එක්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරායට නාවික සැතපුම් 9.5 ක් වයඹින් පාවෙමින් තිබේ.
ගින්න බොහෝ දුරට පාලනය කර ඇතත් නෞකාව සම්පූර්ණයෙන්ම විනාශවී ඇති අකාරයක් දැකගත හැකියි.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න පැවසුවේ, ගින්න පැතිරීම නවතා ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට උත්සාහ කරන බවයි.
කොතැනක හෝ වගකීම් පැහැර හැරීමක් සිදුවුණාද?
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඉන්දියාවේ හසීරා වරායේ සිට කොළඹ පිටක වරායට සමීපවී තිබුණේ පසුගිය 19 වනදා රාත්‍රියේයි.
ඔවුන් නෞකාවේ බහලුම් අතරින් දුමක් මතුවන බව ඊට පසුදින එනම් 20 වනදා කොළඹ වරායට දැනුම්දී තිබේ.
අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පැවසුවේ ඊ-මේල් පණිවිඩයකින් මේ දැනුම්දීම කර තිබූ බවයි.
එහෙත් මේ නෞකාවේ නයිට්‍රික් ඇසිඩ් අඩංගු බහලුමක ඇති කාන්දුවීමක් පිළිබඳව ඉන්දියාවේ හසීරා සහ කටාර් රාජ්‍යයේ හමාද් වරායන් දැනුවත්ව සිටි බව මේ වනවිට අනාවරණය වී තිබේ.
මෙම අනතුරට අදාළව නැව හිමි සමාගම නියෝජනය කරන සිංග්පුරුවේ එම් ටී අයි නේට්වර්ක් සමාගමෙන් අප කළ විමසීමේදී එහි අධ්‍යක්ෂ ඇන්ඩ්‍ර ලීහී මහතා මේ බව තහවුරු කළේ ය.
''නයිට්‍රික් අම්ලය කාන්දු වන බහාලුමක් අදාළ වරායන් දෙකෙහිම ගොඩබැස්සවීමට ඉල්ලුම් කර තිබුණා. නමුත් එහිදී අපට ලැබුණු උපදෙස එම අවස්ථාවේ අම්ල කාන්දුව සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය විශේෂඥ දැනුම හෝ පහසුකම් නොමැති බවයි ''
- උපුටා ගැනීම අවසන් -
නැව කොළඹ වරායට ඇතුල් වීමට පෙර අනතුරුදායක තත්ත්වය පිළිබඳව රට දැනුවත්ම සිටියේ දැයි, නිව්ස් ෆස්ට් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගෙන් විමසා සිටියේ ය.
ප්‍රශ්නය : දැන් මේ නැව කොළඹ වරායට ඇතුල් වෙන්න කලින් මේ අනතුරුදායක තත්ත්වය පිළිබඳව අපව දැනුවත් කලාද ?
රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා : කාවට එන්නට කලින් ඔවුන් කිසිම වෙලාවක අපේ වරාය අධිකාරියට අපේ පාලන මැදිරියට ඒ පිළිබඳව දැනුම් දීලා නැහැ.පලවෙනි වතාවට මේ කාන්දු වීම ගැන ඔවුන් කියන්නේ විසි වැනි දා උදෑසන දහනවවැනි දහවල් දොළහට පමණ වරායට ඇවිල්ලා පිටත වරායේ නැංගුරම් දාපු මේ නෞකාව පළමු වතාවට වරාය අධිකාරියට දැනුම් දෙන්නේ ඔවුන්ට මේ බහලුම ක වෙනසක් කරගන්න අවශ්‍යයි කියන කාරණය පැය දහයකට පස්සේ ඒ කියන්නේ උදේ දහයට පමණ ඒකත් කියන්නේ ඊමේල් පණිවිඩයක් මගින් දවල් දෙකට විතර තමයි ඔවුන් ආධාර ඉල්ලා සිටින්නේ වරාය අධිකාරියෙන් මේ සම්බන්ධව කටයුතුවලට වරාය අධිකාරියෙන් කණ්ඩායම් යවන්න ඊට පස්සේ ඒ නිසා ඔබේ ප්‍රශ්නයට උත්තරය තමයි මොනම හේතුවක් නිසාවත් මේක ලංකාවේ අධිකාරියට දැනුම් දීලා තිබුණේ නැහැ ඔවුන් එන්නට පෙර නැත්නම් නැංගුරම් දමන්නට පෙර.--
ප්‍රශ්නය : නයිට්‍රික් ඇසිඩ් වගේ කාන්දුවක් එක්ක එන මේ නෞකාව මේක පැහැර හැරලා තියෙනවා නම් දැනුවත් කරලා කරන එක අපේ බලධාරීන් ඇයි මේ ගොල්ලෝ සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්න බැරි එකක් ඒගොල්ලන්ගෙ ලෝකල් ඒජන්ට් කෙනෙක් ඉන්නවා.
රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා : ඔබතුමාට මම උත්තරය කිව්වේ අපිට දැනුම් දීල නැහැ කියලා කියලා දැනුම් දීලා නැත්නම් කොහොමද කරන්නේ--
මාධ්‍යවේදී ප්‍රශ්නය : නෑ නෑ මට ඔබතුමාගේ කාරණය පැහැදිලි මම අහන්නේ ඇයි මෙහෙයුම මේකෙ ලෝකල් ඒජන්ට් කෙනෙක් ඉන්නවා ෆොරීන් ඒජන්ට් ලා ඉන්නවා--
රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා : අනිවාර්යෙන්ම ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක වෙනව දැන් ඉන්න ආකාසේ ගිහිල්ලා නඩුව අහලා තීන්දුවක් දෙන්නට පුළුවන් නම් මේ ලෝකෙ වෙන්නට බැහැනේ ඒවට යම්කිසි කාලයක් යනවා විමර්ශන කරන්නට ඕනේ ඔප්පු කරන්නට ඕන නඩු පවරන්නට ඕනේ ඒ අනුව තීන්දු ගනීවි අපි මුලිනුත් කිව්වා වගේ විමර්ශනය අවසන් වෙන්නට තාම කාලයක් නෑනේ නෑනෙ තාම ගින්න වත් ඉවර වෙලා නැහැ.
නෞකාවේ දේශීය ඒජන්තවරයාගෙන් මේ පිළිබඳව විමසූ අවස්ථාවේ උසස් නිලධාරියෙකු කියා සිටියේ මාධ්‍යයට මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකිරීමට අවශ්‍ය නොවන බවයි.
අදාල අංශවලට අවශ්‍ය දැනුවත් කිරීම් සිදුකර ඇතැයි එම නිලධාරියා පැවසීය .
කොළඹ වරාය නෞකාවේ අනතුරුදායක තත්ත්වය පිළිබඳව කලින් දැනුවත් නොකළේ දැයි අප අනතුරුව සිංගප්පූරුවෙන් විමසා සිටියේ ය.
''මට පැහැදිලියි. ඔය ප්‍රශ්නය මට ගොඩාක් දෙනාගෙන් යොමු වුණා. අපි ඒ ගැන සොයා බැලීමක් කරනවා''
ඇන්ඩ්‍ර ලීහී - අධ්‍යක්ෂ එම්.ටී.අයි නෙට්වර්ක් (අග්නි දිග ආසියාව)
කෙසේවෙතත් දැන් සිදුවිය යුතු බරපතළ හානිය සමුද්‍ර පරිසරයට සිදුවෙමින් තිබේ.
මේ නෞකාව ඩුබායිහි ජබෙල් අලි, කටාර් හි හමාඩ් සහ ඉන්දියාවේ හසීරා යන වරායන්වලට යාත්‍රාකර ඇති අතර දැනට අනාවරණය වන දත්ත අනුව ඇසිඩ් කාන්දුව ඔවුන් හඳුනාගෙන තිබුණේ අරාබි මුහුදේ යාත්‍රාකරමින් තිබියදීයි.
ඇසිඩ් කාන්දුවන අයුරින් ප්‍රමිතියකින් තොරව බහලුමක් ඇසිරීම සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශ්වයක් සිටිය යුතු නොවේ ද?
අනතුරු දායක තත්ත්වය වළක්වා ගැනීම සඳහා සහයවීමට ඉන්දියාව, කටාර් සහ ඩුබායි රාජ්‍යයන්වලට වගකීමක් නොතිබුණා ද?
අනතුරුදායක තත්ත්වය දැනගත් ජාත්‍යන්තර වෙළෙඳ නාවුක ගමනා ගමන ක්‍රියාපටිපාටීන්ට අනුව ප්‍රතිචාර නොදැක්වීම මත කොළඹට පැමිණීමට පෙර මේ ගැන දැනුම්දුන් වරායන්ට වගකීමක් නොපැවරෙන්නේද?