ජුනි 07න් පසු සංචරණ සීමා ලිහිල් කරයිද?

ජුනි 07 වැනිදායින් පසු සංචරණ සීමා ලිහිල් කරයිද? නැද්ද?

by Staff writer 28-05-2021 | 9:23 AM

COLOMBO (News 1st) - ජුනි මස 07 වැනි දායින් පසු සංචරණ සීමා ලිහිල් කිරීම හෝ තවදුරටත් පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, සංචරණ සීමා කාලය දීර්ඝ කිරීම මේ දිනවල වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අනුව තීරණය කරන බවය. ඒ පිළිබඳව දෛනිකව අධ්‍යනය කරන බවත් සිදු කරන පී.සී.ආර්. සංඛ්‍යාව තවදුරටත් ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේ ය. දෛනිකව මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාම හමුවේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සංඛ්‍යාව ඉහළ නැංවීමට අවධානය යොමු වී තිබේ. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, දැනට කොරෝනා ප්‍රතිකාර සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ රෝහල් 149 ක් පිහිටුවා ඇති බවය.